අප්‍රේල් 21 සිට 28 දක්වා පැවැත්වෙන සාම පා ගමනටශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඓතිහාසික ‘සාම පා ගමන’ (Walk for Peace) සඳහා එක්වන ‘ආලෝකා’ සුනඛයාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙරට ඉහළම ආරක්ෂක අංශ මැදිහත් වී ඇති අතර, පොලිස් K9 ඒකකය සහ ගුවන් හමුදාව වැනි වෘත්තීය මට්ටමේ පුහුණුව ලත් කණ්ඩායම් යෙදවීමට කටයුතු යොදා ඇත. මෙම විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළ හරහා ජනකාය පාලනය සහ බාහිර තර්ජන හඳුනාගැනීම විධිමත් ලෙස සිදුවනු ඇතැයි වගකිව යුතු අංශ ප්‍රකාශ කර සිටියි.
මෙම වැඩපිළිවෙළේ ඇති වඩාත් ප්‍රශංසනීය ලක්ෂණය වන්නේ ආලෝකාගේ ආරක්ෂාව තහවුරු කරන අතරතුරම, මඟ දෙපස සිටින නිවාස අහිමි සුනඛයන්ට කිසිදු හානියක් නොවන ලෙස කටයුතු කිරීමට ගෙන ඇති තීරණයයි. සත්ව හිංසනය වැළැක්වීමේ ආදර්ශමත් පියවරක් ලෙස, මාර්ගය අවට සිටින සතුන් අහිංසාවාදී ලෙස කළමනාකරණය කිරීමට බලධාරීන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත. සහතික ලත් සේවා සුනඛයෙකු (Certified Service Dog) ලෙස සැලකෙන ආලෝකා, ගුවන් මඟින් මෙරටට පැමිණීමේදී සාමාන්‍ය සුනඛයෙකු මෙන් භාණ්ඩ ගබඩා කරන කොටසේ (Cargo) නොව, මගී කුටිය තුළම (In-cabin) ගමන් කිරීමට වරම් ලබා තිබීම විශේෂත්වයකි.
පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ පැමිණෙන ආලෝකා වෙනුවෙන් ගුවන් යානය තුළ උන්වහන්සේ අසලම විශේෂ ආසනයක් වෙන් කර තිබීම සත්ව සුබසාධන ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීමක් ලෙස සටහන් වේ. බොහෝ දෙනා ආලෝකා දකින්නේ පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ එන ‘කුක්කුර ජාතකය’ සිහිපත් කරමින්, මතු බුදුවීමට පෙරුම් පුරන බෝධිසත්වයෙකු ලෙසිනි. මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම සාම පා ගමන මඟින් “සාමය” යන්න මිනිසුන්ට පමණක් නොව සමස්ත සත්ව සංහතියටම පොදු වූවක් බව යළි යළිත් තහවුරු කෙරේ.
කෙසේ වෙතත්, ආලෝකා කෙරෙහි පවත්නා මෙම සුවිශේෂී ජන අවධානය මුල් කොට ගනිමින්, විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් වෙනයම් අරමුණු වෙනුවෙන් ආලෝකාගේ සත්කාරකයන් ලෙස පෙනී සිටීමට දරන උත්සාහයන් ද මේ වන විට නිරීක්ෂණය වෙමින් පවතින බව වාර්තා වේ.