කාන්තාවකට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.ඉලවාලෙයි පොලීසිය විසින් අද උදෑසන මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබූ අතර, අනතුරුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.
පසුගිය 25 වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී තිබේ. අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සහ කාන්තාවක අතර මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ දැනටමත් නඩුවක් පවතී.වාර්තා වන අන්දමට, සිද්ධිය වූ දින මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිට ඇත. එහිදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන තිබේ.එම උණුසුම් වචන හුවමාරුව දුරදිග යාමත් සමඟ, මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සිය සන්තකයේ තිබූ ගිනිඅවියක් පෙන්වා එහි සිටි කාන්තාවකට මරණීය තර්ජනය එල්ල කර ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඉලවාලෙයි පොලීසිය විසින් සිදු කරනු ලබයි.