මහා භාණ්ඩාගාරය විසින් විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක අතට පත්වීමේ ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව එක්දින පාර්ලිමේන්තු විවාදයක් ලබාදීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.ලබන 5 වනදා ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පක්ෂ නායක රැස්වීම පැවැත්විණි. එහිදී විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් විසින් මෙම මූල්‍ය අක්රමිකතාව පිළිබඳව කරුණු විමසීමටත්, ඒ පිළිබඳව දීර්ඝව විවාද කිරීමටත් අවස්ථාවක් ඉල්ලා ඇත.කෙසේ වෙතත්, විපක්ෂය දිගින් දිගටම කළ එම ඉල්ලීම රජය විසින් සලකා නොබලා ප්‍රතික්ෂේප කර ඇති බව කරුණාතිලක මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශය හරහා සිදුකළ මෙම ගනුදෙනුවේදී අදාළ මුදල් නියමිත පාර්ශවයට නොලැබී වෙනත් බාහිර පාර්ශවයක් අතට පත්ව ඇති බවට මෑතකදී තොරතුරු වාර්තා විය. මෙය රටේ මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් බව පෙන්වා දෙන විපක්ෂය, ඒ පිළිබඳව රජය පාර්ලිමේන්තුවට කරුණු අනාවරණය කළ යුතු බව ඔහු අවධාරණය කරයි.නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදීත් පාර්ලිමේන්තුව තුළ කරුණු මතු කිරීමට විපක්ෂය බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.