සංක්‍රමණිකයන් රටින් එලවන්න බල කරමින් බ්‍රිතාන්‍යයේ උණුසුම් විරෝධතා


බ්‍රිතාන්‍යය යනු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ද බොහෝ පිරිසක් ජීවත් වන රටක් බව රහසක් නොවේ. කෙසේ වෙතත් මේ වනවිට බ්‍රිතාන්‍යය තුළ සංක්‍රමණිකයන්ට එරෙහි විරෝධයන් වඩාත් උණුසුම් වෙමින් ඇති අතර මෙය එරට සිටින බොහෝ සංක්‍රමණිකයන් නොසන්සුන් කරන්නක් බවට පත්ව තිබේ. ඉහත කී විරෝධයන් වඩාත්ම එල්ල වන්නේ අනවසර සංක්‍රමණිකයන් ඉලක්ක කර ය.

සංක්‍රමණ විරෝධීන් විසින් සංවිධානය කරන ලද තවත් දැවැන්ත විරෝධතාවක් පසුගිය 16 වැනි සෙනසුරාදා ද ලන්ඩන් නුවර දී පැවැත්විණි. එයට දස දහස් ගණනින් ජනතාව එක්ව සිටි බවක් ද මාධ්‍ය වාර්තා කළේය. ලන්ඩන් පොලිසිය ප්‍රකාශ කර තිබුණේ 60,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම විරෝධතාවට සහභාගි වී සිටි බව යි.

රට තුළ සිටින අනවසර සංක්‍රමණිකයන් ආපසු ඔවුන්ගේ රටවලට යැවිය යුතු බව ද මෙම විරෝධතාකරුවන්ගේ එක් සටන් පාඨයකි. එමෙන්ම අනවසර සංක්‍රමණිකයන් රට තුළට ඇතුල් වීම වැලැක්වීම සඳහා දැඩි පියවර ගත යුතු බවට ද, දේශසීමාවල ආරක්ෂාව තර කළ යුතු බවට ද ඔවුහු බලධාරීන්ට බල කරති. අනවසර සංක්‍රමණිකයන් නිසා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වන්දි ගෙවීමට සිදුවී ඇති බව ද සංක්‍රමණ විරෝධීහු නිතර පෙන්වා දෙමින් සිටිති. මෙම සංක්‍රමණිකයන්ට පහසුකම් සැලසීම සඳහා බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ බදු මුදල් යොදා ගැනීම ද දැඩි විරෝධයක් යොමු වන කාරණයකි. රට තුළ මෙවැනි සංක්‍රමණිකයන් වැඩි වීම නිසා රෝහල්, අධ්‍යාපන ආයතන, පොදු ප්‍රවාහන සේවා ආදී රජයේ සේවාවන් මත අමතර බරක් පැටවී තිබීම ද ඔවුන්ගේ විරෝධයට ලක් වෙයි.

රට තුළ සිටින අනවසර සංක්‍රමණිකයන් ආපසු ඔවුන්ගේ රටවලට යැවිය යුතු බව ද මෙම විරෝධතාකරුවන්ගේ එක් සටන් පාඨයකි. එමෙන්ම අනවසර සංක්‍රමණිකයන් රට තුළට ඇතුල් වීම වැලැක්වීම සඳහා දැඩි පියවර ගත යුතු බවට ද, දේශසීමාවල ආරක්ෂාව තර කළ යුතු බවට ද ඔවුහු බලධාරීන්ට බල කරති.

අනවසර සංක්‍රමණිකයන් නිසා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වන්දි ගෙවීමට සිදුවී ඇති බව ද සංක්‍රමණ විරෝධීහු නිතර පෙන්වා දෙමින් සිටිති. මෙම සංක්‍රමණිකයන්ට පහසුකම් සැලසීම සඳහා බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ බදු මුදල් යොදා ගැනීම ද දැඩි විරෝධයක් යොමු වන කාරණයකි. රට තුළ මෙවැනි සංක්‍රමණිකයන් වැඩි වීම නිසා රෝහල්, අධ්‍යාපන ආයතන, පොදු ප්‍රවාහන සේවා ආදී රජයේ සේවාවන් මත අමතර බරක් පැටවී තිබීම ද ඔවුන්ගේ විරෝධයට ලක් වෙයි.

ඊලෝන් මස්ක්
ඊලෝන් මස්ක්

එමෙන්ම වෙනත් ජාතීන්ට, ආගම්වලට, සංස්කෘතීන්වලට අයත් සංක්‍රමණිකයන් වැඩි වීමත් සමග බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායික සංස්කෘතික අනන්‍යතාව බිඳ වැටෙමින් ඇති බවට ද ඔවුහු චෝදනා කරති.

මෙම පිරිස් නගන තවත් තර්කයක් වනුයේ සංක්‍රමණිකයන් නිසා රට තුළ අපරාධ, දාමරික කල්ලි, ත්‍රස්ත ක්‍රියා ආදිය වැඩි වී ඇති බව යි.

සෙනසුරාදා පැවැති සංක්‍රමණ විරෝධී පෙළපාලිය සහ රැලිය සංවිධානය කිරීමේ දී මූලිකත්වය ගෙන තිබුණේ උග්‍ර දක්ෂිණාංශික ජාතිකවාදී ක්‍රියාකාරිකයකු වන ටොමි රොබින්සන් ය. පෙළපාලිය සහ රැලිය පැවැත්වුණු දින ලන්ඩන් නුවර 4,000 ක පමණ පොලිස් බලඇණියක් යොදවා තිබූ බව ද වාර්තා වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ ද ලන්ඩන් නුවර මෙවැනිම රැලියක් පැවැත්විණි. ඒ සඳහා විරෝධතාකරුවෝ ලක්ෂ එකහමාරක් පමණ සහභාගි වූහ.
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලෝන් මස්ක් ද ඇමරිකාවේ සිට විඩියෝ මාර්ගයෙන් මෙම රැලිය ඇමතීම කැපී පෙනුණු සිද්ධියක් විය.

මස්ක් ගේ පියාගේ පාර්ශ්වය බ්‍රිතාන්‍යය සමග සම්බන්ධයක් ඇති පාර්ශ්වයකි. ඔහුගේ පියාගේ මව කෝරා ඇමිලියා රොබින්සන් එංගලන්තයේ ලිවර්පූල් ප්‍රදේශයේ ඉපිද එහිම හැදී වැඩුණු කෙනෙකු බව සඳහන් වේ. ඇයගේ නිවස දෙවැනි ලෝක යුද්ධය සමයේ ජර්මන් හමුදා ප්‍රහාරවලින් විනාශයට පත්ව තිබිණි. එයින් පසු ඇය දකුණු අප්‍රිකාව බලා ගොස් තිබුණාය. ඊලෝන් මස්ක් උපත ලැබුවේද දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයේ යි. පසුව ඔහු ඇමරිකාවට සංක්‍රමණය විය.

දැන් ඔහු බ්‍රිතාන්‍යයේ සංක්‍රමණිකයන්ට එරෙහිව විරෝධතා දැක්වුවත් ඔහු ද සංක්‍රමණික ඉතිහාසයක් ඇති කෙනෙකි. ඔහුගේ මේ දෙබිඩි බව ගැන බොහෝ දෙනාගෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. නමුත් මස්ක් පවසන්නේ තමා විරුද්ධ වන්නේ කිසිදු පාලනයකින් තොරව සංක්‍රමණිකයන්ට ඇතුල්වීමට ඉඩ දීම සම්බන්ධයෙන් බව යි.

ඔහු ඇමරිකාව තුළ ද ජාතිකවාදී කඳවුර නියෝජනය කරන්නකු බව රහසක් නොවේ. ජාතිකවාදී නායකයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ගෙන ඒමට ද මස්ක් විශාල වැඩ කොටසක් කළේය.

සංක්‍රමණිකයන් පිලිබඳ ප්‍රශ්නය මේ වනවිට බ්‍රිතාන්‍යයේ ආණ්ඩු බලය හොබවන කම්කරු (Labour) පක්ෂයේ අනාගතයට ද විශාල තර්ජනයක් එල්ල කර ඇත. සංක්‍රමණිකයන් පිලිබඳ අර්බුදය විසඳීම සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම ගැන ආණ්ඩුවට ලොකු විරෝධයක් එල්ල වෙමින් තිබේ. කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය මෙන්ම එහි නායකත්වය සහ අගමැති ධුරය දරණ කියර් ස්ටාමර්ගේ ජනප්‍රියත්ව ද වේගයෙන් පිරිහෙමින් ඇති අතර අනවසර සංක්‍රමණිකයන් පිලිබඳ ප්‍රශ්නය ඊට බලපා ඇති ප්‍රධාන හේතුවකි.

ටොමි රොබින්සන්
ටොමි රොබින්සන්

ඒ අතර රට තුළ පවතින සංක්‍රමණ විරෝධී, ජාතිකවාදී පක්ෂවල ජනප්‍රියත්වය ඉහළ යමින් ඇත. පසුගිය දා පැවති පලාත් පාලන මැතිවරණයේ දී මේ බව පැහැදිලිව දැකගත හැකි වූයේය. කම්කරු පක්ෂය මෙහි දී පසුබෑමකට ලක් වූ අතර ජාතිකවාදී පක්ෂයක් වන Reform UK පක්ෂය කැපී පෙනෙන ජයග්‍රහණ හිමි කරගත්තේය. නිගල් ෆරාෂ් නායකත්වය දරණ මෙම පක්ෂයට කලක් ඊලෝන් මස්ක් ගේ සහයෝගය ද ලැබුණි.( නමුත් දැන් ඔවුන් අතර යම් විරසකයක් ඇතිව තිබේ.)

බ්‍රිතාන්‍යයේ මීලඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2029 වසරේ යි. එහිදී ද සංක්‍රමණිකයන් පිලිබඳ ගැටලුව තීරණාත්මක බලපෑමක් කරනු ඇත.කියර් ස්ටාමර්ගේ නායකත්වය යටතේ පක්ෂයේ ජනප්‍රියත්වය පිරිහෙමින් ඇති නිසා ඔහුට නායකත්වයෙන් ඉවත් වන මෙන් ද පක්ෂය තුළින්ම ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. පක්ෂ නායකත්වය සහ අගමැති ධුරය රැක ගැනීම සඳහා ඔහුට මේ වනවිට ලොකු සටනක් කිරීමට සිදු වී ඇත.

බ්‍රිතාන්‍යයේ මීලඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2029 වසරේ යි. එහිදී ද සංක්‍රමණිකයන් පිලිබඳ ගැටලුව තීරණාත්මක බලපෑමක් කරනු ඇත.

කියර් ස්ටාමර්ගේ නායකත්වය යටතේ පක්ෂයේ ජනප්‍රියත්වය පිරිහෙමින් ඇති නිසා ඔහුට නායකත්වයෙන් ඉවත් වන මෙන් ද පක්ෂය තුළින්ම ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. පක්ෂ නායකත්වය සහ අගමැති ධුරය රැක ගැනීම සඳහා ඔහුට මේ වනවිට ලොකු සටනක් කිරීමට සිදු වී ඇත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර