අපේක්ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රියයි: රෝගීන් 1,500ක් පොරොත්තු ලේඛනයේ

මහරගම අපේක්ෂා රෝහලේ නව සීටී සිමියුලේටර් (CT Simulator) යන්ත්‍රය ක්‍රියාත්මක කළ නොහැකි වීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමට නොහැකිව පිළිකා රෝගීන් 1,500කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, නව යන්ත්‍රය පසුගිය සැප්තැම්බර් 7 වැනිදා රෝහල් කාර්ය මණ්ඩලයට භාරදී තිබුණ ද, එහි මෘදුකාංග විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීමේ පද්ධතිය සමඟ නොගැළපීම හේතුවෙන් එය භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බවයි.විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර සිදුකළ යුතු සීටී සිමියුලේෂන් පරීක්ෂණ සහ ප්‍රතිකාර සැලසුම් කිරීම අත්‍යවශ්‍ය බැවින්, මෙම තත්ත්වය රෝගීන්ගේ ප්‍රතිකාර ප්‍රමාද වීමට හේතු වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.මේ අතර, රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මඟින් දෛනිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 300 සිට 200 දක්වා අඩු වී ඇති බව ද සංගමය සඳහන් කරයි.මෙවැනි විකිරණ ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් ලබාගැනීම සඳහා එක් රෝගියකුට රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 20 දක්වා මුදලක් වැය කිරීමට සිදුවන බැවින්, අදාළ තාක්ෂණික ගැටලුවට කඩිනම් විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතු බව ද සංගමය අවධාරණය කරයි.

කාලීන පුවත්