උතුරේ වෙසක් තහනමක් නෑ: උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි

මෙවර වෙසක් උත්සව සමයේ උතුරු පළාත තුළ දන්සල් පැවැත්වීම සහ වෙසක් සැරසිලි සිදු කිරීම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් මහතා අවධාරණය කරයි. පසුගිය දින කිහිපය පුරා ෆේස්බුක් (Facebook) සහ වට්ස්ඇප් (WhatsApp) ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ “උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් වෙසක් සැරසිලි සහ දන්සල් තහනම් කර ඇති” බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කරමින් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය මේ බව ප්‍රකාශ කර සිටී. ආණ්ඩුකාර ලේකම් කාර්යාලය පෙන්වා දෙන්නේ, ජාතීන් අතර පවත්නා ආගමික සහයෝගීතාවය සහ සංහිඳියාව පළුදු කිරීමේ චේතනාවෙන් ඇතැම් කණ්ඩායම් විසින් මෙම අසත්‍ය තොරතුරු සමාජගත කර ඇති බවයි. වෙසක් උත්සවය යනු ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය උත්සවය වන අතර, උතුරු පළාතේ ද එය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට අවශ්‍ය සියලු පසුබිම සකස් කර ඇති බව ද ඔවුහු දන්වා සිටිති.

උතුරු පළාතේ වෙසක් උත්සව කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය මගින් නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ උතුරු පළාතේ ඕනෑම ප්‍රදේශයක වෙසක් කලාප, තොරණ, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශන සහ දන්සල් සුපුරුදු පරිදි සංවිධානය කිරීමට සිවිල් සංවිධාන හා බැතිමතුන්ට පූර්ණ නිදහස ඇති බවයි. එමෙන්ම වෙසක් සැමරුම් සිදුවන ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට සහ අවශ්‍ය පොදු පහසුකම් සැලසීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශ වෙත දැනටමත් උපදෙස් දී තිබේ. මීට අමතරව උතුර සහ දකුණ යා කෙරෙන ආගමික සංහිඳියා වැඩසටහන් රැසක් මෙවරත් ආණ්ඩුකාර කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කිසිදු සොයා බැලීමකින් තොරව, හුදෙක් ජනතාව නොමඟ යැවීමේ සහ අනවශ්‍ය ආගමික නොසන්සුන්තාවන් ඇති කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති මෙවැනි ව්‍යාජ පුවත් (Fake News) විශ්වාස නොකරන ලෙසත්, ඒවා හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. කිසියම් පාර්ශවයක් ආගමික සමගියට බාධා වන අයුරින් කටයුතු කරන්නේ නම් හෝ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ. සැම දෙනාටම සාමකාමී සහ පින්බර වෙසක් උත්සව සමයක් වේවා යන්න උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රාර්ථනාවයි.

කාලීන පුවත්