මෙවර වෙසක් උත්සව සමය වෙනුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පමණක් ඊයේ (27) වන විට වෙසක් දන්සල් 464 ක් ලියාපදිංචි කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩෙහාන් විතානගේ මහතා පැවසීය.මෙවර ලියාපදිංචි වී ඇති සමස්ත දන්සල් සංඛ්‍යාවෙන් දන්සල් 91 ක්ම ‘බත් දන්සල්’ ලෙස ලියාපදිංචි කර තිබීම විශේෂත්වයක් බව ද ඒ මහතා සඳහන් කළේය. මීට අමතරව සෙසු දන්සල් නූඩ්ල්ස්, පාන්, රොටී, අයිස්ක්‍රීම්, සරුවත්, කෝපි සහ විවිධ පලතුරු දන්සල් ලෙස ලියාපදිංචි වී තිබේ.වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙම දන්සල් ලියාපදිංචි කිරීම සිදු කරන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. එමෙන්ම මහජනතාවට පිරිසිදු හා සෞඛ්යාරක්ෂිත ආහාර පාන සැපයීම තහවුරු කරනු වස්, ලියාපදිංචි කර ඇති සියලුම දන්සල් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (ඵ්Hඓ) සෘජු අධීක්ෂණයට හා නියාමනයට ලක් කෙරෙන බව ද ඔවුහු අවධාරණය කරති.මෙම නියාමන කටයුතු සඳහා වෙසක් උත්සව සමය පුරාම කොළඹ නගරය ආවරණය වන පරිදි විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම් කිහිපයක් දිවා රාත්‍රී සේවයේ යෙදවීමට ද පියවර ගෙන ඇත.
මහජන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දන්සල් පවත්වන ස්ථානවල පිරිසිදුකම උපරිමයෙන් රැකගත යුතු බවයි. විශේෂයෙන්ම ආහාර පිසීමට සහ පානයට සුදුසු පිරිසිදු ජලය පමණක් භාවිත කිරීම,ආහාර පිළියෙල කරන්නන් සහ බෙදා දෙන්නන් බෝවන රෝග හෝ චර්ම රෝගවලින් තොර පුද්ගලයන් වීම සහ ඔවුන් පිරිසිදු ඇඳුමෙන් සැරසී සිටීම,ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමේදී සහ ප්‍රවාහනයේදී මැස්සන්, දූවිලි වැනි බාහිර අපද්‍රව්‍යවලින් ආරක්ෂා වන සේ වසා තැබීම,පිසූ ආහාර සහ නොපිසූ අමුද්‍රව්‍ය එකිනෙක මිශ්‍ර නොවන සේ වෙන් වෙන්ව තබා ගැනීම,ප්ලාස්ටික් අවම කිරීම සහ පරිසරය රැකගැනීම ඒ අතරට අයත් වේ.නගර සභා බලධාරීන් දන්සල් සංවිධායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ, පරිසර දූෂණය වැළැක්වීම සඳහා එක් වරක් පමණක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් හැකිතාක් වැළකී සිටින ලෙසයි. දන්සල් අවසානයේ ඉතිරි වන කසළ නිසි පරිදි කළමනාකරණය කර නගරයේ පිරිසිදුකම රැක ගැනීමට සහාය වන ලෙස ද ඔවුහු මහජනතාවගෙන් සහ සංවිධායක මණ්ඩලවලින් ඉල්ලා සිටිති.නියමිත පරිදි ලියාපදිංචි නොවී, සෞඛ්‍ය රීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන අවදානම් සහගත දන්සල් සම්බන්ධයෙන් පාරිභෝගික පනත සහ මහජන සෞඛ්‍ය ආඥා පනත යටතේ තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.