වයස අවුරුදු 61 දී ආමිර් ඛාන් තුන්වැනි විවාහයට සැරසෙයි

බොලිවුඩයේ ජනප්‍රිය නළු ආමීර් ඛාන් විවාහ වීම්, දික්කසාද වීම් පිලිබඳ යම් ප්‍රසිද්ධියක් උසුළන්නෙකි. ඔහු මෙයට පෙර දෙවතාවක්ම විවාහ වී දික්කසාද වී තිබේ. මේ වනවිට 61 වැනි වියේ පසුවන ආමීර් දැන් නැවතත්,එනම් තුන්වැනි වතාවටත් විවාහ වීමට සූදානම් වෙයි. මෙවර ආමීර් ගේ බිරිඳ වීමට යන්නේ ගෞරි ස්ප්‍රැට් නැමැති කාන්තාවකි. ඇගේ වයස අවුරුදු 47 ක් බව සඳහන් වේ.

ආමීර් සහ ගෞරි අතර විවාහය සිදු වීමට නියමිතව තිබෙන්නේ ජුලි 05 වැනි දින යි. මේ බව ආමීර් ද මේ වනවිට නිල වශයෙන් තහවුරු කර තිබේ. මුම්බායි නුවර පිහිටි ආමීර්ගේ නිවසේ එදින මේ වෙනුවෙන් චාම් උත්සවයක් පැවැත්වෙනු ඇති බවත්, ඊට සහභාගි වනු ඇත්තේ ඔහුගේ පවුලේ උදවිය සහ ළඟම හිත මිතුරන් ටික දෙනෙකු පමණක් බවත් සඳහන් වේ.

ආමීර්ගේ කලින් බිරියන් වූ රීනා දත්තා සහ කිරන් රාඕ ද, එම විවාහයන්ගෙන් ලැබුණු දරුවන් වන ජුනේද්, අයිරා සහ අසාද් ද මීට සහභාගි වනු ඇත. සිනමා ක්ෂේත්‍රයේ ආමීර්ගේ සමීපම මිතුරන් ලෙස සැලකෙන ෂාරුක් ඛාන් සහ සල්මාන් ඛාන් ද උත්සවයට ඇරයුම් ලබා ඇති බව වාර්තා වේ.

ආමීර් සහ රීනා තරුණ වියේ දී

ආමීර් කලින් විවාහ වී සිටි රීනා සහ කිරන් සමග ඔහු තවමත් සමීප සබඳතා පවත්වයි. සැබැවින්ම ඔවුන් තවදුරටත් එකම පවුලක් ලෙස කටයුතු කරන ආකාරයක් ද දැකිය හැකි වේ. පවුලේ අවස්ථාවන්ට මේ හැමෝම සහභාගි වනු දැකිය හැකියි. ආමීර්ගේ චිත්‍රපටවල මංගල දර්ශණ ආදියට රීනා සහ කිරන් ද සහභාගි වී සිටිනු නිතර දකින්නට ලැබේ. ආමීර්ගේත්, රීනාගේත් දියණිය වන අයිරා පසුගිය 2024 වසරේ විවාහ වූ අතර එම අවස්ථාවට කිරන් රාඕ ද සහභාගි වූවාය. ඔවුහු සියළු දෙනා තවමත් එකිනෙකා කෙරේ ගෞරවයෙන්, එකිනෙකාට උදව් කරගනිමින් ජීවත් වන බවක් ද සඳහන් වේ.

රීනා සහ කිරන් ද, ඔවුන්ගේ දරුවන් ද ආමීර්ගේ අලුත් සහකාරිය වන ගෞරීව ඉතා ආදරයෙන් පිලිගෙන ඇති බව ද පැවසේ.

ගෞරී ස්ප්‍රැට් දකුණු ඉන්දියාවේ ඉපිද එහිම හැදුණු වැඩුණු කෙනෙකි. ඇය උපත ලබා ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ බෙංගලූරු ප්‍රදේශයේ යි. සැබැවින්ම ආමීර් ඇයව මුල් වරට දැන හඳුනාගෙන තිබුණේ මෙයට වසර 25 කට පමණ පෙර ය. ඒ වරක් ඔහු බෙංගලූරු වෙත ගොස් සිටි අවස්ථාවක යි. නමුත් එය සාමාන්‍ය දැන හැඳිනුම්කමක් පමණක් වූ බව සඳහන් වේ. මෙලෙස හඳුනාගෙන වසර දෙක තුනකට පසු ඔවුන් දෙදෙනා අතර ආශ්‍රය සම්පූර්ණයෙන්ම නතර වී තිබිණි.

කිරන් රාඕ

කෙසේ නමුත්, දශක දෙකක පමණ කාලයකට පසු ආමීර් සහ ගෞරි 2024 වසරේ අහම්බෙන් මෙන් නැවත හමු වූ අතර වඩාත් සමීප ඇසුරකට මගපෑදී තිබුණේ එයින් පසුව යි.

මේ කාලය ආමීර් මානසික වශයෙන් තරමක් පසුබෑමකට ලක්ව සිටි කාලයකි. පෞද්ගලික ජීවිතයේ ඇතැම් කාරණා ද, සිනමා ජීවිතයේ ගැටලු ද එම තත්වයට හේතු වී තිබූ බව සඳහන් වේ. ඔහු මේ කාලයේ නේපාලයේ භාවනා මධ්‍යස්ථානයක භාවනා වැඩසටහන්වලට පවා සහභාගි වූයේය.

ඔහු මහත් බලාපොරොත්තු තබාගෙන නිශ්පාදනය කළ ලාල් සිං චද්දා නැමැති සිනමාපටයට සිතූ තරම් ප්‍රේක්ෂක ආකර්ශණයක් නොලැබීම සහ එය ආදායම් අතින් අසාර්ථක වීම ද ආමීර් තුළ විශාල සිත් තැවුලක් ඇති කළේය. එම චිත්‍රපටය කලෙකට පෙර ලොව පුරා ජනප්‍රිය වූ Forrest Gump චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වූවකි. 1994 වසරේ තිරගත වූ එහි ප්‍රධාන චරිතය නිරූපනය කළේ සම්මානනීය නළු ටොම් හෑන්ක්ස් ය.

ආමීර් තැනූ ලාල් සිං චද්දා චිත්‍රපටය වර්ජනය කරන ලෙස දන්වමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් පවා දියත් විය. එයට හේතු වූයේ ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයන්ට හින්දු අන්තවාදීන්ගෙන් සිදුවන අකටයුතුකම්වලට එරෙහිව ආමීර් යම් යම් ප්‍රකාශ සිදු කර තිබීම යි. එකල ඔහුගේ බිරිඳ වූ කිරන් රාඕ ඉන්දියාව අතහැර යාම සඳහා යෝජනාවක් කළ බවක් ද ආමීර් වරක් පැවසුවේය.

මෙම ප්‍රකාශ නිසා හින්දු අන්තවාදීන් ආමීර් දේශද්‍රෝහියකු ලෙස හැඳින්වූ අවස්ථා ද තිබිණි.

කෙසේ හෝ වේවා, ආමීර්ට ගෞරි දෙවැනි වර හමු වූයේ ඉහත කී ආකාරයේ සිදුවීම් නිසා ඔහු මානසික අර්බුදයක ගිලී සිටි කාලයක යි. ගෞරිගේ ආශ්‍රය නිසා තම සිතට සැනසීමක්,අස්වැසිල්ලක් දැනුණු බවක් ඔහු පවසා තිබිණි.

ඔහු සහ ගෞරි අතර ආදර සම්බන්ධයක් ගොඩනැගුණේ මෙවන් පසුබිමක් තුළ ය. පසුව ඔවුහු දෙදෙනා මුම්බායි හි වෙනම නිවසක් මිල දී ගෙන එහි එකට ජීවත් වූවෝය.

ගෞරි ද කලින් විවාහ වී සිට දික්කසාද වූ කෙනෙකි. ඒ විවාහයෙන් ඇයටත් පුතෙක් සිටියි. 7 හැවිරිදි ඔහු ද ආමීර් සහ ගෞරි සමග මුම්බායි නිවසේ වාසය කරයි.

ගෞරි විලාසිතා සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රවල කටයුතු කරන්නියක වන අතර ඇය ආමීර්ගේ චිත්‍රපට නිශ්පාදන කටයුතුවලට ද සම්බන්ධ වේ.
ඇය ප්‍රසිද්ධියට වැඩි කැමැත්තක් නොදක්වන කෙනෙකු බව ද සඳහන් ය.

ආමීර් මුලින්ම විවාහ වී සිටියේ රීනා දත්තා සමග යි. ඔවුන් අතර විවාහය සිදු වූයේ 1986 වසරේ ය. ඒ වනවිට 21 වැනි වියේ සිටි ආමීර් සිනමා තරුවක් බවට පත්ව සිටියේ නැත.

ආමිර් සහ රීනා අසල්වැසියන් වූහ. කෙසේ නමුත් ආමීර් රීනා සමග හාද වීමට උත්සාහ කළ මුල් දිනවල ඇය ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි. නමුත් පසුව ඇයගේ කැමැත්ත දිනාගන්නට ආමීර් සමත් වූයේය.

ආමීර් සහ ගෞරි

එසේ වුවත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට වැඩිහිටියන්ගේ කැමැත්ත ලැබී නොතිබිණි. ඒ ආගම් ප්‍රශ්නය නිසා ය. ආමීර් මුස්ලිම් ජාතිකයකු වන අතර රීනා අයත් වූයේ හින්දු පවුලකට යි. අවසානයේ මේ දෙදෙනා විවාහ වී තිබුණේ නිවෙස්වලින් පලාගොස් වැඩිහිටියන්ට රහසිනි.

වසර 16 ක යුග දිවියකින් පසු ඔවුන්ගේ විවාහය 2002 වසරේ අවසන් විය. රීනා එයින් පසු විවාහයක් කර ගත්තේ නැත.

ආමීර් 2005 වසරේ කිරන් රාඕ සමග විවාහ වූයේය. ඔවුන් මුලින්ම දැනහඳුනා ගත්තේ Lagaan චිත්‍රපටයේ රූගත කිරීම් කළ කාලයේ යි. ආමීර් ප්‍රධාන චරිතය නිරූපනය කළ එහි කිරන් සහය අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළාය.

2021 වසරේ එම විවාහය ද අවසන් විය. කිරන් රාඕ මේ වනවිට චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස නමක් දිනා සිටියි. පසුගිය කාලයේ සම්මාන ද දිනාගනිමින් බොහෝ කතාබහට ලක් වූ Laapataa Ladies චිත්‍රපටය ඇගේ අධ්‍යක්ෂණයකි. මේ චිත්‍රපටයට පසුබිම් වූ කතාව කිරන්ට ලබා දී තිබුණේ ආමීර් ය. එය ඔහුට හමු වී තිබුණේ ඔහු සම්බන්ධ වූ තිරනාටක වැඩමුළුවක දී යි. මෙම චිත්‍රපටය නිශ්පාදනය කළේ ආමිර්ට අයත් නිශ්පාදන සමාගම යි.

2021 වසරේ ආමීර්ගෙන් දික්කසාද වීමෙන් පසු කිරන් ද නැවත විවාහ වූයේ නැත.

නිහාල් පීරිස්

රසගඟුල