සුරේෂ් සලේගේ මානුෂීය ගැටලුවලට මැදිහත් වන්නැයි ඉල්ලා පවුලේ ඥාතීන්ගෙන් පාප් වහන්සේට ලිපියක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් උද්ගත වී ඇති මානුෂීය ගැටලු සඳහා මැදිහත් වී සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. ඊට අදාළ ලිපිය ඊයේ (23) සඳුදා පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ශුද්ධෝත්තම පියතුමාගේ නියෝජිත, අපෝස්තලික නන්සියෝ රදගුරුතුමා වෙත කොළඹදී නිල වශයෙන් භාර දී ඇති බව වාර්තා වේ.2019 වසරේ සිදු වූ දරුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයට පත් කරනු ලැබීය. කෙසේ වෙතත්, එම රැඳවුම් භාරයේ පසුවෙමින් සිටියදී ඔහු විසින් ආරම්භ කරන ලද උපවාස ව්‍යාපාරයක් හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය පිරිහී යාම නිසා ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ ඇතුළත් කර අඛණ්ඩව දින 17ක් සපිරෙන තාක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වන බව රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි. දීර්ඝ කාලීන රැඳවුම් භාරය සහ පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සුරේෂ් සලේ මහතා මුහුණ දී සිටින දැඩි මානුෂීය ගැටලු සැලකිල්ලට ගෙන, වතිකානුවේ ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේගේ සෘජු මැදිහත්වීම මත ඔහුට සාධාරණයක් ඉටු කර දෙන ලෙස පවුලේ ඥාතීන් මෙම ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටී.

කාලීන පුවත්