මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ භාවිතය ප්‍රචණ්ඩත්වයට හේතුවක් ද?- විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්


මානසික රෝගී තත්ත්වයන් සඳහා ලබාදෙන ඖෂධ භාවිතය හේතුවෙන් රෝගීන් හෝ සාමාන්‍ය පුද්ගලයන් ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකි ද යන්න වර්තමානයේ රෝගීන්ගේ භාරකරුවන් මෙන්ම පොදු සමාජය තුළ ද නිරන්තරයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි. විශේෂයෙන්ම වර්තමාන සිදුවීම් මුල් කොට මාධ්‍ය මඟින් සිදුවන ඇතැම් අසත්‍ය ප්‍රචාර සහ කරුණු විකෘති කිරීම් හේතුවෙන්, මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ පිළිබඳව සමාජය තුළ අනියත බියක් නිර්මාණය වී ඇත.එය සමාජයීය වශයෙන් ඉතා අහිතකර තත්වයකි. මෙම සටහන මඟින් ප්‍රධාන මානසික රෝග නාශක ඖෂධවල සැබෑ ක්‍රියාකාරීත්වය, ප්‍රචණ්ඩත්වය අවම කිරීමෙහිලා ඒවායේ දායකත්වය සහ සමාජීය මිථ්‍යාවන් පිටුපස ඇති සැබෑ වෛද්‍ය විද්‍යාත්මක හේතු සාධක සාක්ෂි සහිතව විග්‍රහ කිරීම අපගේ අරමුණයි.

ප්‍රධාන මානසික රෝග සඳහා ලබාදෙන ප්‍රති-මනෝවිභ්‍රාමික ඖෂධ (Antipsychotics) යනු පොදුවේ ගත් කල ප්‍රචණ්ඩත්වය ඉස්මතු කරන හෝ උත්තේජනය කරන ඖෂධ කාණ්ඩ නොවේ. ලොව පුරා සිදු කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ සහ නිරීක්ෂණ අධ්‍යයන (Observational Studies) මඟින් ස්ථිරවම පෙන්වා දී ඇත්තේ මෙම ඖෂධ මඟින් ප්‍රචණ්ඩ හැසිරීම් සහ ආක්‍රමණශීලීත්වය සැලකිය යුතු ලෙස අඩු කරන බවයි. මහා පරිමාණ ජන කොටස් මුල් කොට ගනිමින් සිදු කරන ලද ඇතැම් සසම්භාවී සහ දිගුකාලීන නිරීක්ෂණ අධ්‍යයන මඟින් හෙළි වී ඇති දත්ත අනුව, මානසික රෝග නාශක ඖෂධ ක්‍රමවත්ව භාවිත කරන කාලසීමාවන් තුළ රෝගීන් අතින් ප්‍රචණ්ඩ අපරාධ සිදුකිරීමේ ප්‍රවණතාව 45% කින් පමණ අඩු වේ. බන්ධනාගාරවලින් නිදහස් වූ, පුනරුත්ථාපනය කරන ලද සිරකරුවන් අතර ද මෙම ඖෂධ භාවිතය හේතුවෙන් නැවත වැරදි සහ අපරාධ සිදුකිරීමේ අනුපාතය 42% කින් පහත වැටී ඇති බව ද ඇතැම් නිරීක්ෂණ අධ්‍යයන මඟින් සනාථ වී තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ එම පුනරුත්ථාපන ක්‍රියාවලිය නිසි පරිදි සිදු වන බවක් නොපෙනෙන අතර, අප රටේ බන්ධනාගාරවලින් පිටතට එන, ජීවිතය අලුතින් දැකීමේ ශක්තියක් සහිත පුද්ගලයන් නිසි පරිදි සමාජගත නොවන්නේ එබැවිනි.ඒ නිසා මේ දක්වා නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කිරීම නව මුහුණු වරකින් දියත් කළ යුතුව තිබේ.

විශේෂිත රෝගී තත්ත්වයන් දෙස බැලීමේදී භින්නෝන්මාදය (Schizophrenia) හෝ ද්වි-ධ්‍රැවීය ආබාධය (Bipolar Disorder) වැනි බරපතළ තත්ත්වයන් සඳහා නිසි ඖෂධ මාත්‍රාවන් ලබාදීමෙන් ප්‍රචණ්ඩ අපරාධ සිදුවීම 35% ත් 45% ත් අතර ප්‍රමාණයකින් කැපී පෙනෙන ලෙස අඩු වන බව පැවසෙයි. එසේම ක්ලෝසැපීන් (Clozapine) වැනි සුවිශේෂී ඖෂධ මඟින් රෝගීන් තුළ ඇති වන සියදිවි නසාගැනීමේ සහ ස්වයං-හානිකර ගැනීමේ නැඹුරුව 35% කින් පමණ අඩු කරන බව ද පර්‍යේෂණාත්මකව තහවුරු කර ඇත. මෙම ඖෂධ මඟින් ප්‍රචණ්ඩත්වය මැඩපවත්වන්නේ කෙසේද? යන්න වටහා ගැනීමට නම් ඒවා මොළයේ රසායනික ක්‍රියාවලියට බලපාන ආකාරය තේරුම් ගත යුතු ය. ප්‍රධාන මානසික රෝගවලදී මොළයේ ඩොපැමින් (Dopamine) සහ සෙරොටොනින් (Serotonin) වැනි ස්නායු සම්ප්‍රේෂකයන්ගේ (Neurotransmitters) අසමතුලිතතාවයක් හට ගනී. මානසික රෝග ඖෂධ මඟින් මෙම රසායනික සමතුලිතතාවය නැවත තුලනය කරමින්, ප්‍රචණ්ඩත්වයට සෘජුවම මඟ පාදන මනෝභ්‍රාන්තීන් (Hallucinations) එනම් නැති ශබ්ද ඇසීම (Auditory Hallucinations) හෝ නැති දසුන් පෙනීම (උදා: රෝගියාට යමෙකුට පහර දෙන ලෙස අණ කරන අද්භූත හඬවල් ඇසීම), මෝහ (Delusions) හෙවත් අතාර්කික සහ ස්ථිර වැරදි විශ්වාසයන් (උදා: තමන්ව මැරීමට හෝ තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරන බවට ඇති වන ව්‍යාකූල බිය හෙවත් Paranoia) මැඩපැවැත්වීම මෙන්ම ආවේගශීලීත්වය සහ චිත්තවේගීය අස්ථාවරත්වය (Emotional Lability) වැනි බරපතළ රෝග ලක්ෂණ සාර්ථකව පාලනය කරයි. නිර්දේශිත මානසික රෝගයක් නොමැති සාමාන්‍ය පුද්ගලයකු මෙම ඖෂධ ලබා ගත්ත ද, ඔවුන් තුළ අධික නිදිමත ගතිය සහ මන්දගාමී බව වැනි කෙටි කාලීන අතුරු ආබාධ ඉස්මතු විය හැකි මුත්, ප්‍රචණ්ඩත්වය යනු කිසිසේත්ම එවැනි ඖෂධ භාවිතයක් නිසා හටගන්නා අතුරු ආබාධයක් නොවේ.

සමාජය තුළ බොහෝ විට අන්තරායකර මත්ද්‍රව්‍ය (Narcotics / Illicit Drugs) සහ වෛද්‍ය විද්‍යාත්මක මානසික ඖෂධ පටලවා ගැනීම සිදු වේ. අයිස් (Methamphetamine), හෙරොයින්, ගංජා හෝ අධික ලෙස මත්පැන් භාවිතය වැනි අන්තරායකර මත්ද්‍රව්‍ය ගැනීමෙන් පුද්ගලයකු තුළ භාවයන්, හැඟීම් සහ ආවේග විෂමතා (Impulse Dysregulation) හට ගන්නා අතර එමඟින් යමෙකු ප්‍රචණ්ඩත්වය සහ දරුණු අපරාධ වෙත යොමු වීමේ සැබෑ සහ ඉහළ අවකාශයක් පවතී. නමුත් වෛද්‍යමය ඖෂධ සිදු කරන්නේ මීට හාත්පසින්ම වෙනස්, මොළයේ ක්‍රියාකාරිත්වය ස්ථායී (Stabilize) කිරීමකි. ඖෂධ මඟින් ප්‍රචණ්ඩත්වය වැඩි වන බවට සමාජය තුළ වැරදි මතයක් නිර්මාණය වී ඇත්තේ ඇතැම් දුර්ලභ අතුරු ආබාධ සහ සුවිශේෂී සායනික අවස්ථා නිසි ලෙස වටහා නොගැනීම හේතුවෙනි. නිදසුනක් ලෙස ඇරිපිප්‍රසෝල් (Aripiprazole) වැනි ඇතැම් නූතන ඖෂධ ඇසුරුම් වල “නොසන්සුන්තාව හෝ ප්‍රචණ්ඩත්වය” (Hostility / Agitation) ඇති විය හැකි බව සඳහන් වුව ද, එය සායනිකව සිදුවන්නේ ඉතා කලාතුරකිනි.එමෙන්ම එය ද රෝගියාගේ අසරණකම අනියමින් කියා පෑමක් බව මනෝ වෛද්‍ය වරු දනිති.

එසේම අකතිසියා (Akathisia) යනු ඇතැම් මානසික ඖෂධ නිසා ඇති විය හැකි දුර්ලභ ස්නායු ආබාධිත තත්ත්වයකි. මේ හේතුවෙන් රෝගියා තුළ දැඩි අභ්‍යන්තර නොසන්සුන්තාවයක්, අත් පා වෙව්ලීමක් සහ නොනවත්වා ඇවිදීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති විය හැක. මෙය බාහිරින් බලන්නෙකුට රෝගියා කේන්තියෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් පසුවීමක් සේ පෙනුන ද, එය ද තදබල ශාරීරික අපහසුතාවයකි. මෙය නිසි ලෙස වෛද්‍යවරයා ලවා කළමනාකරණය නොකළහොත්, දුර්ලභ අවස්ථාවකදී ආක්‍රමණශීලී හැසිරීමකට මඟ පෑදිය හැකි වුව ද, එය කිසිසේත්ම සැලසුම් සහගත හෝ සංවිධානාත්මක අපරාධ කෙරෙහි රෝගියා යොමු කරවන්නක් නොවේ. මීට අමතරව වෛද්‍ය උපදෙස් රහිතව ඖෂධ කිහිපයක් එකට ලබාදීමේදී (Polypharmacy) හෝ වෛද්‍ය උපදෙස් රහිතව හදිසියේ ඖෂධ නතර කිරීම හෝ මාරු කිරීම (Medication Switch) හේතුවෙන් ඇති වන ප්‍රත්‍යාහාර ලක්ෂණ (Withdrawal Symptoms) නිසා මොළයේ රසායනික කඩාවැටීමක් සිදුවී රෝගියා තුළ දැඩි නොසන්සුන්තාව වර්ධනය විය හැක. මෙහිදී ප්‍රචණ්ඩත්වයට හේතුව ඖෂධය නොව, ඖෂධය අවිධිමත් ලෙස හැසිරවීමයි. සමාජ මාධ්‍ය තුළ ෆ්ලුවොක්සෙටින් (Fluoxetine) වැනි SSRI කාණ්ඩයේ විෂාදනාශක (Antidepressants) සහ ඇතැම් ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) හෝ වෙනත් උත්තේජක ඖෂධ පටලවා ගනිමින් වැරදි සහ විකෘති කරන ලද වෛද්‍ය තොරතුරු ප්‍රචාරය වීම ද මෙම භීතිකාවට ප්‍රධාන හේතුවකි.

ඕනෑම වෛද්‍යමය ඖෂධයක් ශරීරගත වූ පසු එය බිඳ හෙළා ශරීරයට උරාගැනීමේ ක්‍රියාවලිය හෙවත් පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) සිදු කරනු ලබන්නේ අක්මාවේ ඇති එන්සයිම මඟිනි. මෙහිදී CYP450 (Cytochrome P450) වැනි එන්සයිම පද්ධතිවල පවතින ජානමය විචල්‍යතාවන් (Genetic Variations) හේතුවෙන් ශරීරය තුළ ඖෂධ පරිවෘත්තීය සිදුවන වේගය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැම් පුද්ගලයන් “මන්දගාමී පරිවෘත්තීයකරුවන්” (Poor Metabolizers) වන අතර, ඔවුන්ගේ ශරීරය තුළ ඖෂධය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක් රඳා පැවතීම නිසා නොසන්සුන්තාව වැනි අතුරු ආබාධ ඇති වීමේ අවදානම වැඩි විය හැක. එම නිසාම, මානසික ඖෂධ ලබාදීමේදී “සියල්ලන්ටම එකම මාත්‍රාව” (One Size Fits All) යන සංකල්පය වෛද්‍යවරුන් භාවිතා නොකරන අතර, පුද්ගලයාගෙන් පුද්ගලයාට මාත්‍රාවන් වෙනස් කරනු ලබයි. නිදසුනක් ලෙස බෙන්සොඩයිඇසපීන (Benzodiazepines) වැනි ඖෂධ ලබා දෙන අතරතුර සහ ඉන් පසු ඉතා කලාතුරකින් ප්‍රතිලෝම උද්වේගකාරීත්වයක් (Paradoxical Agitation) ඇති විය හැකි මුත්, එය රෝගියා සෘජුවම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා යොමු වන තත්ත්වයක් සේ හඳුනාගෙන නැත. එමෙන්ම ජාත්‍යන්තර නියමයන්ට අනුව එම අතුරු සහ පශ්චාත් ආබාධ සම්බන්ධ විද්‍යාත්මක විස්තර එම ඖෂධ ඇසුරුම්වල සඳහන් කොට තිබේ.

ඒ අනුව වෛද්‍ය විද්‍යාත්මකව සහ සායනික පර්යේෂණ පදනම් කරගෙන බලන කල, මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ මඟින් ප්‍රචණ්ඩත්වය ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, ඒවායේ මූලික සහ ප්‍රධාන කාර්යය වන්නේ රෝගියා සහ සමාජය යන දෙපාර්ශවයම ආරක්ෂා කරමින් ප්‍රචණ්ඩත්වය අවම කිරීමයි. එබැවින් භාරකරුවන් සහ රෝගීන් පහත කරුණු කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ය. ඕනෑම මානසික රෝගී තත්ත්වයක් සඳහා ලබාදෙන ඖෂධ වෛද්‍ය අධීක්ෂණය යටතේම පමණක්, නියමිත මාත්‍රාවට සහ අඛණ්ඩව ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. යම් හෙයකින් ඖෂධයක් ආරම්භ කිරීමෙන් පසු හෝ නතර කළ පසු තාවකාලික අසාමාන්‍ය කේන්තියක්, නොසන්සුන්තාවයක් හෝ ශාරීරික අපහසුවක් ඇති වුවහොත්, වහාම සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයකු (Psychiatrist) හමු විය යුතුය. එහිදී වෛද්‍යවරයා හමුවීමෙන් පසු, ඒ සඳහා බලපා ඇති සැබෑ හේතුව (රෝගයේ ලක්ෂණයක් ද, අකතිසියා වැනි තත්ත්වයක් ද යන්න) වටහා ගෙන, අවශ්‍ය නම් පමණක් වෛද්‍ය උපදෙස් මත මාත්‍රාව වෙනස් කර ගැනීම හෝ වෙනත් සුදුසු ඖෂධයකට මාරු වීම සිදු කළ යුතු අතර කිසිම විටක තමන්ගේ අභිමතය පරිදි ඖෂධ නතර කිරීම හෝ මාත්‍රාව වෙනස් කිරීම නොකළ යුතුය. නමුත් මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ භාවිතය ප්‍රචණ්ඩත්වයට හේතු වන බවට බාහිර පාර්ශවයන් ඉදිරිපත් කරන දුර්මත ඒ අයුරින්ම සමාජගත වීම ජාතික මානසික සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් විය හැකි බවට අනතුරු ඇඟවීමේ කාලීන අවශ්‍යතාව දැන් පැන නැඟී තිබේ.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

විනිවිද සායනය