වත්මන් ගොවි යුද්ධය හමුවේ ආණ්ඩුව කුමක් කළ යුතු ද? සුනිල් කන්නන්ගර – කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති


ආණ්ඩුව හා වී ගොවීන් අතර ඇවිලී තිබුණු යුද්ධය මීගමුව බන්ධනාගාරයේ යුද්ධය නිසා තාවකාලිකව දෙවැනි තැනට වැටුණත්, යළිත් එය “පණ ගසා” පළමු තැනට ඒම වැළැක්වීමට කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තට බැරි බව පැහැදිලි ය. කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමැති පට්ටම ලැබුවේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ගොවි නායකයාව සිටි නිසා විය යුතු ය. නියෝජ්‍ය ඇමැති පට්ටම ලැබීමට පෙර, ගොවි නායකයෙකුව සිටි අවධියේ වී වගාව පිළිබඳව ප්‍රමාණික දැනුමැත්තෙකු ලෙස පෙන්වාගෙන සිටි නාමල් කරුණාරත්න උන්නැහේ ගොවීන්ට වහ කදුරු මෙන් වනු ඇතැයි එකල කිසිවෙක් කල්පනා නොකළෝය. ගොවීන් මුලදී කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිට දෙස් දෙවොල් තියන්නට පටන් ගත්තේ පොහොර සහනාධාරය ලැබීමේ ප්‍රමාදය නිසා ය. ඊට පසුව, ගොවීන් ළඟ තිබුණු මාස් කන්නයේ අස්වැන්නෙන් එතෙක් අලෙවි නොකළ වී සඳහා වෙළෙඳපොළේ මිලක් නොතිබීමේ ගැටලුවට ගොවීහු මුහුණ දුන්හ.

සාමාන්‍යයෙන් ගොවීන් සිය අස්වැන්න අලෙවි කරද්දී, සිය පවුලේ ආහාරය සඳහා මෙන්ම ඊළඟ අස්වැන්න එනතුරු හදිසි වියදම් සඳහා යම් වී ප්‍රමාණයක් රඳවාගෙන අලෙවිය සිදු කිරීම සිරිතකි. ඇතැම් විටක සතියේ පොළට යන්නට මුදල් සොයා ගැනීමට වී මිටියක් බයිසිකලයේ බැඳගෙන ගොස් ගමේ වී මිලට ගන්නා ස්ථානයට දී මුදල් කර ගැනීම, හදිසි අසනීප තත්ත්වයකදී ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය වුවහොත් වී මිටි දෙක තුනක් අලෙවි කර මුදල් ලබා ගැනීම, ළමයෙකුගේ ටියුෂන් ගාස්තුව ගෙවීමට වී මිටියක් අලෙවි කිරීම ආදිය සඳහා යම් වී ප්‍රමාණයක් තම නිවසේ තබා ගැනීම ගොවීන්ගේ සිරිත ය. පසුගිය මාස් කන්නයේ අස්වනු නෙළද්දී වී මිල එතරම් ඉහළ අගයක නොවූ නිසා ගොවීහු වෙනදාටත් වඩා වැඩිපුර වී ප්‍රමාණයක් තමන් සන්තකයේ රඳවාගෙන සිටියහ. ඔවුන්ට ඇති වුණු ලොකුම ගැටලුව වූයේ, මෙම වී සඳහා මාස් කන්නයේ අස්වනු නෙළද්දී පැවති මිලටත් වඩා බෙහෙවින් අඩු මිලක් වෙළෙඳපොළේ පැවතීම ය. එබැවින් සහතික මිලට ආණ්ඩුවට මේ වී ලබා දීමට අවස්ථාව සලසන ලෙසට වූ ගොවි ඉල්ලීමක් ලෙස වී මිල ගැටලුව කරළියට ආවේය.

මේ ගොවි ඉල්ලීම ආණ්ඩුවේ බලධාරීන් තුට්ටුවකටවත් සැලකුවේ නැත. ඒ වෙනුවට මේ ඉල්ලීම කරන ගොවීන් ගොවීන් නොව අඩු මිලට වී එක්රැස් කළ මුදලාලිලා ය යනුවෙන් ගර්හාවට ලක් කිරීමත්, ආණ්ඩුව මාස් කන්නයේ වී මිලදී ගෙන අවසන් බවත්, මේ ගොවි ඉල්ලීම් සුන්බුන් විපක්ෂයේ කුමන්ත්‍රණ බවත් කියමින් මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් ආණ්ඩුව සිය සුපුරුදු උද්ධච්ච හැසිරීම පෙන්නුම් කළේය. ගොවියන් කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තට ප්‍රහාර එල්ල කිරීම පටන් ගත්තේ මේ “අලුගුත්තේරු කතා” වැඩිපුර කීවේ ඔහු නිසා ය. ගොවීන් ඊට ප්‍රතිචාර දැක්වූයේ, වෙළෙඳපොළේ වී මිල පහළ වැටුණේ ආණ්ඩුවේ වෙළෙඳ අමාත්‍යාංශය විශාල ලෙස සහල් ආනයනය කිරීමට ඉඩ දුන් නිසා බව පවසමින් පාරට බැසීමෙනි. ආණ්ඩුව කීරි සම්බා හිඟයක් පෙන්වමින් සෑහෙන සහල් ප්‍රමාණයක් ආනයනය කිරීමට ඉඩ දී තිබුණු නිසා, ගොවීන් නඟන මේ චෝදනාවට යම් පදනමක් තිබුණි.

ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් හීන් නූලෙන් ප්‍රචාරය කරන්නට පටන් ගත්තේ තම ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා පසුගිය මාස් කන්නයේ විශාල අස්වැන්නක් ලැබුණු බැවින් වී අතිරික්තයක් නිෂ්පාදනය වුණු බව ය. ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මේ කතාව පුන පුනා කියමින් සිටී. ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලයේ වැටත් ගලවා පරාක්‍රම සමුද්‍ර රක්ෂිතය ඇතුළු වැව් රක්ෂිත බේරා ගන්නා බවට පාරම් බෑ කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත, නීත්‍යනුකූලව කිසිදු වැවකට ඉහළින් කිසිදු ඉඩම් අමාත්‍යවරයෙකු රක්ෂිත භූමියක් වෙන් කර නැති බව තේරී ගිය නිසාදෝ හදිසියේ ඒ මාතෘකාවෙන් නිහඬ වුණාක් මෙන්, මේ අතිරික්ත අස්වැන්න පිළිබඳ මාතෘකාවෙන් ලිස්සා යාමට ඇති ඉඩකඩ අතිශය වැඩිය. මේ අතිරික්ත අස්වැන්න අලෙවියට වෙළෙඳපොළ පුළුල් කිරීමට යැයි කියමින් ආණ්ඩුව සත්ව ආහාර, බියර් ආදියට සහල් යොදා ගැනීම තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදන ඉවත් කිරීමට කටයුතු කළේය. අතිරික්ත අස්වැන්න කෙසේ වෙතත්, ආණ්ඩුවේ ගබඩාවල ඇති වී සහ ආනයනික සහල් තොග එම කාර්යයන්ට යොමු කිරීමෙන් පසු ඔය අතිරික්ත වී නිෂ්පාදනය පිළිබඳ කතාන්දරය අවසන් වනු ඇති බව ගොවීහු පවසති

ගොවීන්ගේ මේ අරගලයට ආණ්ඩුවේ ඊළඟ විසඳුම වූයේ යල් කන්නයේ අස්වනු මිලට ගැනීමට ගබඩා විවෘත කරන බව ප්‍රකාශ කිරීම ය. මේ වන විට අස්වනු නෙළමින් පවතින අම්පාරේ වී ගබඩා විවෘත කරන බවට ප්‍රසිද්ධ කළත්, එසේ වී මිලට ගැනීමට හැකි වන ලෙසට ගබඩා වැඩි ප්‍රමාණයක් හිස් කර නැති බවද ගොවීහු පවසති. අම්පාරේ පාලම් කඳවුර වී ගබඩාවේ දී වී මිලට ගැනීම උත්සවාකාරයෙන් ඇරඹුවත්, එම ගබඩාව ද මුළුමනින්ම හිස්ව නැති බවත්, දිස්ත්‍රික්කයේ සෙසු ගබඩා බොහොමයක් පැරණි වීවලින් පිරී ඇති බවත් ගොවීහු පවසති. මේ අතර ගොවි කලබලය වසා දැමීමට ආණ්ඩුවේ ලොකු ලොක්කන් ගොවීන්ට වැඩිම සෙත සැලසුවේ වත්මන් ආණ්ඩුව බවට අඬහැරයක් ද ආරම්භ කර ඇත.

මේ තත්ත්වය එලෙසම තිබියදී දැන් යල කන්නයේ ගොයම් කැපීම ආරම්භ වී ඇත. යලේ වී මිල ගැන ප්‍රශ්නයට විසඳුම ලෙස ආණ්ඩුවේ ගබඩාවල වී මිලට ගැනීම අරඹන බව ආණ්ඩුවේ බලධාරීහු කියවමින් සිටිති. මාස් කන්නයේ වී ටික විකුණාගත නොහැකිව මහ පාරට ආ ගොවියන්ට, යලේ ගොයම් කැපීමට මහ පාරෙන් ඉවත් වී කුඹුරට යන්නට ඉදිරි මාස එකහමාරේදී සිදු වනු ඇත. එවිට නම් “දැක්කාද ගොවීන්ගේ ප්‍රශ්නය අපි විසඳුවා, දැන් ගොවීන් සතුටින් ඉන්නේ” කියන්නට ආණ්ඩුවේ ලොක්කන්ට හැකි වේ.

වෙළෙඳපොළේ වැඩිම වී ප්‍රමාණයක් මිලට ගන්නා මහා පරිමාණ වී මෝල් හිමියන්ද රජයේ මිලට වී ගැනීමට එකඟ වූ බවට ද ලොකු ප්‍රචාරයක් ඊයේ පෙරේදා ලබා දුන්නේ වෙළෙඳ අමාත්‍යවරයා ය. ඒ බව තහවුරු කරමින් මාධ්‍යයට කතා කළ මහා පරිමාණ සහල් නිෂ්පාදකයෙක් පැවසුවේ, “අපි ළඟට ගෙනැත් දෙන වී කිලෝ එක අපි රුපියල් 120ට ගන්නවා” කියා ය. ආණ්ඩුවේ ලොක්කන් කියන කතාවල හැටියට ආණ්ඩුවෙන් වී කිලෝ එකකට රුපියල් 120ක් ගන්නට ආණ්ඩුවේ ගබඩාවට වී ටික ගෙනියනවා නම්, පුද්ගලික අංශයෙන් වී කිලෝ එකකට රුපියල් 120ක් ගන්නා ඔවුන් ළඟට වී ගෙන යාමේ වරදක් නැතැයි ආණ්ඩුවේ ලොක්කෙක් හෙට අනිද්දාම කීමට ද ඉඩ ඇත. දැන් අම්පාරේ, මඩකලපුවේ, කුරුණෑගල, අනුරාධපුරයේ, කිලිනොච්චියේ, මුලතීවු, මන්නාරමේ වී වගා කළ ගොවීන්ට තමන්ගේ වී මිටි ටික ලොරිවල පටවාගෙන පොළොන්නරුවේ මහා වී මෝලකට ගෙනැවිත් දී සහතික මිල ලබා ගත හැකි තත්ත්වයක් නම් ආණ්ඩුව උදා කර දී ඇති බව පැහැදිලි ය.

අන්දරේ එක්තරා ගොවියෙකුගේ කුඹුරක තිබුණු විශාල ගලක් කරෙන් ඉවත් කිරීමට භාරගෙන, තුන් මාසයක් කළුකුම් මස් සමඟ හීනැටි හාලේ බත් ගොවියාගේ ගෙදරින් කා, අවසානයේ ගල ඉවත් කරනු බැලීමට පැමිණි පිරිසට එම ගල උස්සා තමාගේ කරෙන් තබන ලෙස දැනුම් දී, එසේ නොවූ නිසා “මම භාර ගත්තේ ගල කරෙන් ගෙනියන්න විතරයි, ගල උස්සන එක මගේ වැඩක් නොවෙයි” කියා මඟ හැරියා සේ, පුද්ගලික මෝල් හිමියන්ටද “කෝ අපි ළඟට ගෙනාවේ නැහැනේ, ගෙනාවා නම් අපි 120 ගානේ දෙනවා” කියන්නට ඉඩ හදා තිබෙන බව නම් ඉතාම පැහැදිලි ය.

පසුගිය දින කිහිපයේම මම දැනට අස්වනු නෙළීම ඇරඹී ඇති අම්පාරේ ගොවි මහත්වරුන් කිහිපදෙනෙකු සමඟ මෙවර වී මිල ගැන සාකච්ඡා කළෙමි. සම්මන්තුරේ, රුහුණුගම, සියඹලාවැව ප්‍රදේශවල ගොවීන් එසේ මා සමඟ සාකච්ඡා කළහ. සම්මන්තුරේ ප්‍රදේශයේ අක්කර පහ, දහය, විස්ස, විසිපහ වගා කරන ගොවීන් බහුල ය. ඊට සාපේක්ෂව රුහුණුගම, සියඹලාවැව වැනි ගල්ඔය ව්‍යාපාරයේ ජනපදවල එක් ගොවියෙකු වගා කරන උපරිම කුඹුර අක්කර හතරකි. බොහෝ දෙනා අක්කර එකහමාර, දෙක වැනි කුඩා ඉඩම් වගා කරති. ඔවුන් පොදුවේ පැවසූ විස්තර අනුව තවමත් එහි වී කිලෝ එකක් රුපියල් 90ක පමණ මිලක පවතී. පසුගිය මාස් කන්නයේ ඉතිරිව තිබූ වී තමන් දැනට සති දෙකකට පෙර මිටියක් (කිලෝග්‍රෑම් 65.5ක්) රුපියල් 6500ක මිලකට අලෙවි කර නිම කළ බැව් සම්මන්තුරේ ගොවියෙක් පැවසීය. ඒ වී කිලෝ එකක් රුපියල් 99-100 අතර මිලකට ය. මේ වන විට කිලෝ 65.5ක මාස් කන්නයේ පරණ වී මිටිය රුපියල් 7000 මට්ටමට වැඩි වී ඇති බවත් ඔහු පැවසීය (කිලෝග්‍රෑම් එකක් රුපියල් 107ක් පමණ වේ). යල කන්නයේ ගොයම් කැපීම පොතුවිල්, අක්කරපත්තුව ප්‍රදේශවල සිදු කර ඇත. එම අලුත් වී මිටියක මිල රුපියල් 5500ක් පමණ වේ. ඒ වී කිලෝ එකක් රුපියල් 84ක් පමණ වේ. මෙවර කුඹුරු අක්කරයක් වගා කිරීමට රුපියල් 155,000ක පමණ වියදමක් ගිය බව සම්මන්තුරේ ගොවීහු පැවසූහ. සම්මන්තුරේ ප්‍රදේශයේ අක්කරයකින් ලබා ගත හැකි සාමාන්‍ය වී ප්‍රමාණය මිටි 30ක් පමණ වේ (වී කිලෝ 1,950කි). රුහුණුගම ප්‍රදේශයේ අක්කරයක් සඳහා වැය වන මුළු වියදම රුපියල් 163,000ක් පමණ වේ; ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය උපරිම වී මිටි 25කි (කිලෝග්‍රෑම් 1,625කි). සියඹලාවැව ප්‍රදේශයේ අක්කරයක වී වගා වියදම රුපියල් 165,000කටත් වැඩිය; ලබා ගත හැකි උපරිම අස්වැන්න වී මිටි 25කි (කිලෝග්‍රෑම් 1,625කි).

මෙවර යල් කන්නයේ අස්වනු නෙළීමේදී වී අස්වැන්නේ විශාල අඩුවක් නිරීක්ෂණය වන බව අම්පාරේ රුහුණුගම හා සියඹලාවැව ගොවීන් කිහිප දෙනෙක්ම මා සමඟ පැවසූහ. ඔවුන්ට අනුව මෙවර අක්කරයක සාමාන්‍ය අස්වැන්න වී මිටි විස්සකට පමණ සීමා වනු ඇත. අක්කර තුනහමාරක් වී වවන සියඹලාවැව ඒ. ජී. සිරිසේන මහතා මෙවර තමාට අපේක්ෂා කළ හැක්කේ වී මිටි හැත්තෑවකට අඩුවෙන් බව පැවසීය. සාමාන්‍යයෙන් ඔහු පවුලේ ආහාරය සඳහා වී මිටි විස්සක් වෙන් කළ පසු ඉතිරි වෙතැයි අපේක්ෂිත වී මිටි පනහ ආණ්ඩුවේ මිලට අලෙවි කළත්, ඔහුට මෙවර ලබා ගත හැක්කේ රුපියල් තුන්ලක්ෂ අනූදහසකි. ඔහු අක්කර තුනහමාරේ වී වගාව සඳහා වියදම් කර ඇති මුදල ලක්ෂ පහ හමාරකටත් වැඩිය. ඒ අනුව මෙවර බරපතළ පාඩුවක් සිදු විය හැකි බව ඔහු පෙන්වා දෙයි. මෙවර කුඹුර ඉහළින්ම පැහුණත් ඔහුට උපරිම වශයෙන් අලෙවි කළ හැක්කේ වී මිටි හැටහතකි. ඉන් ලැබෙන ආදායම වන්නේ රුපියල් පන්ලක්ෂ විසිදෙදහසකි. ආණ්ඩුවේ පොහොර සහනාධාරය ලෙස අක්කර තුනහමාරට රුපියල් හතළිස් දෙදහසක් ඔහුට හිමි ය. එය එකතු කළ පසුවත් ඔහුගේ ආදායම පන්ලක්ෂ හැටහතර දහසකි. කුඹුරු අක්කර තුන හමාර වවන්නට පන්ලක්ෂ පනස්දහසකට වඩා වියදම් කර ලබන මුළු ආදායම පොහොර සහනාධාරයත් සමඟ පන්ලක්ෂ හැටහතර දහස නම්, රජයේ රුපියල් 120 වී මිල ප්‍රමාණවත්දැයි ජනතාවටම තීරණය කළ හැකි ය. ඒ අනුව ගොවීන් මහ පාරට බැස කෑගසන්නේ ආණ්ඩුව කියන ලෙස මුදලාලිලා වෙනුවෙන්වත්, සුන්බුන් විපක්ෂය වෙනුවෙන්වත් නොව, ඔවුන්ට සැබෑ ප්‍රශ්නයක් ඇති නිසා බව තේරුම් ගත යුතු ය.

මේ සඳහා විසඳුම ලෙස වී මිල වැඩි කිරීම කළහොත් සහල් මිල ඉහළ යාමේ ගැටලුවට ජනතාවට මුහුණ දීමට සිදු වේ. එම නිසා ගොවියාගේ නිෂ්පාදන වියදම අඩු කරවීම කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතු ය. වී නිෂ්පාදනයේ යෙදවුම් වියදමෙන් වැඩිම ප්‍රමාණය පොහොර වියදමයි. එය සමස්ත වියදමෙන් තුනෙන් එකකටත් වඩා වැඩි ය. කෘමිනාශක, දිලීර නාශක, වල් නාශක හා ඉන්ධන යන අංශවලට යන වියදම ඊළඟ විශාල කොටසයි. අක්කරයක පොහොර වියදමෙන් සහනාධාර ලෙස දැන් රජය ගෙවන්නේ 20%කට සමාන මුදලකි. මෙය 50% දක්වා ඉහළ දැමීම හෝ පොහොර මිල 50%කින්වත් අඩු කිරීම, ඉන්ධන මිල ගණන් පහළට ගෙන ඒම, දිලීර, වල් හා කෘමිනාශක වෙළෙඳපොළේ ගුණාත්මක තත්ත්වය දැඩිව නියාමනය කිරීම තුළින් එම වියදම අඩු කිරීම ආදී විකල්පයන් කෙරෙහි ආණ්ඩුව සොයා බැලිය යුතු ය. වසරකට උද්ධමනය 5%ක අගයක ඇති රටක සහල් මිලද එම අගයට අනුව ඉහළ යන බව සහල් පාරිභෝගිකයා ද තේරුම් ගත යුතුය. ආණ්ඩුව උද්ධමන අගයට සාපේක්ෂව සහල් මිල ප්‍රසාරණය වන්නට ඉඩ නොදීමේ මෝඩ උත්සාහයෙන් බැට කන්නෙත් ගොවියා බව තේරුම් ගත යුතු ය. නැත්නම් ගොවියා පාරට බැස උද්ඝෝෂණය කිරීම වැළැක්වීමට දෙවියන්ටවත් බැරි වනු ඇත.

සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර