අගෝස්තු – ඔක්තෝබර් කාලයේ ප්‍රබල එල්නිනෝ තත්වයක්; ලැව්ගිනි අවදානම ඉහළට

ඉදිරි අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී මෙරටට අතිප්‍රබල එල්නිනෝ තත්වයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන පරිදි මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යාම මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.ඔහු පෙන්වා දෙන පරිදි එහි බලපෑම දැනටමත් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම බණ්ඩාරවෙල වැනි අතරමැදි කලාපීය ප්‍රදේශවලට ද දැනෙමින් පවතී.පවතින වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හමුවේ අනුරාධපුර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ලැව්ගිනි (Wildfires) ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වනාන්තර ගිනි ගැනීම් වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.විශේෂඥයන් පෙන්වා දෙන්නේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් සහ සාමාන්‍යයට වඩා වැඩි උෂ්ණත්වයක් පැවතිය හැකි බවයි. යල කන්නයේ (මැයි – සැප්තැම්බර්) නිරිතදිග මෝසමෙන් ලැබෙන වර්ෂාව අඩුවීම මෙයට හේතුවයි.එම නිසා ගොවීන්ට ජලය සංරක්ෂණය කරන ලෙසත්, ජනතාව අනවශ්‍ය ලෙස ගිනි තැබීම්, කැලෑ එළිපෙහෙළි කිරීම් සහ විදුලි කෙටීම් වලින් වැළකී සිටින ලෙසත් බලධාරීන් උපදෙස් දෙයි.වත්මන් වර්ෂාව තවමත් ක්‍රියාකාරී නිරිතදිග මෝසම නිසා ලැබෙන බවත්, එල්නිනෝවේ සැබෑ වියළි බලපෑම ජූලි අග සිට, විශේෂයෙන් අගෝස්තුවෙන් පසු වඩාත් ප්‍රබලව දැනෙනු ඇති බවත් දේශීය කාලගුණ විශ්ලේෂණවල සඳහන් වේ.

කාලීන පුවත්