සලේගේ රිට් පෙත්සමට එරෙහිව කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේශ් සලේ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව කරුණු දැක්වීමට අවසර ඉල්ලා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ද අතරමැදි පෙත්සමක් ගොනු කර තිබේ.අගරදගුරු හිමියන් වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක් විසින් ඊයේ (15) දින මෙම අතරමැදි පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇත.එම පෙත්සමෙන් කාදිනල් හිමියන් තමන්ව ද මෙම නඩුවේ වගඋත්තරකරුවකු හෝ මැදිහත්කරුවකු ලෙස පෙනී සිටීමට අවසර ලබා දෙන ලෙසත්,සුරේශ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත්,පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන විමර්ශන කටයුතුවලට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙසත් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන නව විමර්ශන යටතේ හිටපු බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එම අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත්, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පවසමින් ඔහු අභියාචනාධිකරණය හමුවේ මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.එම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවිය යුතු බවත්, අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් නිරන්තරයෙන් අවධාරණය කර ඇති අතර, එම පරීක්ෂණවලට බාධා කිරීමට කිසිවෙකුට ඉඩ නොතැබිය යුතු බව මෙම අතරමැදි පෙත්සම මගින් අවධාරණය කර තිබේ.අදාළ රිට් පෙත්සම සහ අතරමැදි පෙත්සම ඉදිරියේදී අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

කාලීන පුවත්