සුරතල් සතුන් කෙරෙහි ජනතා අවධානය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින වර්තමානයේ, අගෝස්තු 08 වන දිනට යෙදෙන ‘ලෝක බළල් දිනය’ (World Cat Day) වෙනදාට වඩා උත්කර්ෂවත්ව සැමරීමට සත්ව ලෝලීන් සූදානම් වෙද්දී, පින්නවල සත්වෝද්‍යානයෙන් ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව පින්නවල සත්වෝද්‍යානයේ සිටින ආකර්ෂණීය අඳුන් දිවි (Fishing Cat-Prionailurus viverrinus) පැටවුන් තිදෙනා සඳහා නම් තැබීමේ තරගයක් මහජනතාව වෙනුවෙන් විවෘත කර ඇත.බළල් කුලයට අයත් දුර්ලභ වනජීවී විශේෂයක් වන අඳුන් දිවියා ශ්‍රී ලංකාවේ තෙත්බිම් ආශ්‍රිතව දක්නට ලැබෙන අතර, ජාත්‍යන්තරව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතෙකු ලෙස සැලකේ. පින්නවලදී උපත ලැබූ මෙම පැටවුන් තිදෙනාගේ නිරෝගී වර්ධනය සත්වෝද්‍යාන බලධාරීන්ගේ විශේෂ අවධානයට ලක්ව ඇති අතර, ඔවුන්ගේ සංරක්ෂණයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ද මෙම උපත් සැලකේ.මෙම තරගය යටතේ සත්ව ලෝලීන්ට මෙම පැටවුන් සඳහා නිර්මාණශීලී, අර්ථවත් සහ ඔවුන්ගේ සුවිශේෂී පෞරුෂයන්ට ගැලපෙන නම් යෝජනා කිරීමට ආරාධනා කෙරේ.හොඳම නම් යෝජනා පළපුරුදු විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාගනු ලබන බවත්, ජයග්රාහකයින්ට අගෝස්තු 08 වන දින පැවැත්වෙන ‘ලෝක බළල් දින’ සැමරුම් උත්සවය අතරතුරදී විශේෂ ත්‍යාග සහතිකපත්‍ර පිරිනැමීමට කටයුතු යොදා ඇති බවත් පින්නවල සත්වෝද්‍යාන පාලනාධිකාරිය නිවේදනය කරයි.
මහජනතාවට තම අදහස් ඉදිරිපත් කළ හැක්කේ සත්වෝද්‍යානය විසින් බෙදා හරින ලද නිල Google Form පෝරමය හරහා ය. ඒ සඳහා අයදුම්පත් භාරගැනීම 2026 අගෝස්තු 07 වන දිනෙන් අවසන් වන බව දැනුම් දී ඇත.
මෙම දුර්ලභ අඳුන් දිවි පැටවුන්ගේ ජීවන ගමනේ කොටස්කරුවන් වීමට ලැබෙන මෙම විශේෂ අවස්ථාවට එක්වන ලෙස පවුල්වලට, පාසල් දරුවන්ට, වනජීවී ලෝලීන්ට සහ පින්නවල සත්වෝද්‍යානයට පැමිණෙන සියලු අමුත්තන්ට සත්වෝද්‍යානය විවෘත ආරාධනාවක් සිදු කරයි.