ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට ඊයේ (ජූලි 27) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා වන අතර, මෙම යෝජනාවට ජාතික ජන බලවේගය ඇතුළතින්ම සහ නීති ක්ෂේත්‍රයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.මෙම විරෝධය නායකත්වය දී ඇත්තේ ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ඇතුළු ජනාධිපති නීතිඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසකි.ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් විජේනායක මහතා පවසා ඇත්තේ මෙය පක්ෂයේ කිසිදු සභාවක එකඟතාවයකින් තොරව ගත් “හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක්” බවයි.”මම ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ ඉන්න කෙනෙක්. මම ඉන්න NPP විධායක සභාවක හෝ වෙන කිසිම සභාවක විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන මෙහෙම තීරණයක් අරන් නෑ. මම මේ ගැන ඇහුවම කිව්වා මට කට වහගෙන ඉන්න කියලා. මම අවුරුදු 55ක් නීතිඥ වෘත්තියේ හිටියා. අවුරුදු 60ක් වාමාංශික ව්‍යාපාරයේ හිටියා. අපි අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ෆීලික්ස් ඩයස්, ජේ.ආර්. ජයවර්ධන, නිහාල් ජයවික්‍රම වගේ අය එක්ක සටන් කළා. ඒ නිසා අදත් මම සටන් කරනවා. මේක හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක්,”අනාගත පරපුරට වැරදි පූර්වාදර්ශයක් නොදෙන ලෙස ඉල්ලමින් සිය විරෝධය ජනාධිපතිවරයා වෙත ලිඛිතව ද භාරදුන් බවද ඔහු එහිදී සඳහන් කර ඇත.