ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් සිව් දෙනෙකු බඳවාගෙන ඔවුන් පුද්ගලික වැඩ වලට යොදාගැනීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියෝග කර තිබේ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) හමුවේ අද පෙරවරුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව වාර්තා වේ.හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා වන අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව ඇති චෝදනාව වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට / ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයින් බඳවාගෙන එක්සත් ජාතික පක්ෂයේ සහ ඔහුගේ පුද්ගලික හා දේශපාලන කටයුතුවලට යොදවා ගනිමින් දූෂණය නම් වරද සිදු කිරීමයි.ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඊයේ දින ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

Uncategorized