එල් නිනෝවෙන් ආර්ථිකයට සහ උද්ධමනයට දැඩි බලපෑම්: මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

එල් නිනෝ සංසිද්ධිය හේතුවෙන් ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා ඉදිරියේදී මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම උද්ධමන මට්ටම්වලටද අහිතකර බලපෑම් එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාවට අනුව, එල් නිනෝ බලපෑමෙන් නුදුරු සහ මැදිකාලීනව මෙරට උද්ධමනය පූර්ව පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යා හැකි බව පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය හමුවේ ආර්ථිකයට බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දෙයි.දීර්ඝකාලීන වියළි කාලගුණය සහ අක්‍රමවත් වර්ෂාපතන රටා හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන අඩුවී, ඒ ආශ්‍රිත සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වීමේ අවදානමක් පවතී.ජලාශවල ජල මට්ටම් පහත බැසීම නිසා අඩු පිරිවැය ජල විදුලි උත්පාදනය සීමා වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි පිරිවැයක් සහිත තාප විදුලිය මත වැඩිපුර රඳා පැවතීමට සිදුවන අතර, එමගින් රටේ බලශක්ති හා කාර්මික නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.
කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර තුනටම එල්ල වන මෙම බලපෑම හේතුවෙන් මෙරට ඉදිරි ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට වඩා මන්දගාමී විය හැක.
එල් නිනෝ යනු පැසිෆික් සාගරයේ මුහුදු පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහළ යාම මත පදනම්ව ගෝලීය කාලගුණය වෙනස් වන ස්වාභාවික සංසිද්ධියකි. ශ්‍රී ලංකාව වැනි කෘෂිකර්මාන්තය හා ජල විදුලිය මත සැලකිය යුතු ලෙස රඳා පවතින ආර්ථිකයකට එල් නිනෝ නිසා ඇතිවන නියඟ තත්ත්වයන් සහ වර්ෂාපතන විපර්යාස සෘජුවම බලපායි. විශේෂයෙන්ම ධාන්‍ය හා එළවළු අස්වැන්න අඩුවීමෙන් ආහාර උද්ධමනය ඉහළ යාම සහ විදුලි ගාස්තු ඉහළ යාමේ තර්ජනය මෙයින් ප්‍රධාන වේ.

කාලීන පුවත්