මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ජනපති නොයයි;විදේශ ඇමැති විජිත හේරත් ශ්‍රී ලංකාව නියෝජනය කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ සමුළුව සඳහා සහභාගී නොවන අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය.ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, තමන් සැප්තැම්බර් 26 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යන බවත්, සැප්තැම්බර් 28 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවත් ප්‍රකාශ කළේය.එක්සත් ජාතීන්ගේ නිල කාලසටහන අනුව 81 වැනි මහා මණ්ඩල සැසිවාරයේ සාමාන්‍ය විවාදය සැප්තැම්බර් 22 සිට 26 දක්වාත්, යළි සැප්තැම්බර් 28 වැනිදාත් පැවැත්වීමට නියමිතය.ඒ අනුව, ජනාධිපතිවරයා පසුගිය වසරේ පෞද්ගලිකව සහභාගී වූ මහා මණ්ඩල සැසිවාරය හා සැසඳීමේදී, මෙවර ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජනය විදේශ කටයුතු අමාත්‍යවරයා මගින් සිදුකිරීම ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් අතර කැපී පෙනෙන වෙනසක් ලෙස සැලකිය හැකිය. මෙවර මහා මණ්ඩලයේ ඉහළ පෙළේ සතිය සැප්තැම්බර් 18 සිට 28 දක්වා පැවැත්වෙන අතර, සාමාන්‍ය විවාදයේදී ලෝක නායකයන් හා රටවල නියෝජිතයන් සිය රටවල ප්‍රමුඛතා සහ ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ පැවැති 80 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස සහභාගී වී 2025 සැප්තැම්බර් 24 වැනිදා ජාතික ප්‍රකාශය ඉදිරිපත් කළේය. එය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඉදිරිපත් කළ ජනාධිපතිවරයාගේ ජාතික ප්‍රකාශය ලෙස එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයද වාර්තා කර තිබේ.
මෙවර ජනාධිපතිවරයා වෙනුවට විදේශ කටයුතු අමාත්‍යවරයා මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම විශේෂත්වයකි. අමාත්‍ය හේරත් මහතාගේ ප්‍රකාශය අනුව, ශ්‍රී ලංකාවේ ජාතික ස්ථාවරය සහ විදේශ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා මහා මණ්ඩලය හමුවේ ඉදිරිපත් කිරීමේ ප්‍රධාන වගකීම මෙවර විදේශ අමාත්‍යවරයා වෙත පැවරෙනු ඇත.මෙවර මහා මණ්ඩල සැසිවාරය දේශගුණික විපර්යාස, මුහුදු මට්ටම ඉහළ යාම, වසංගත වැළැක්වීම සහ සූදානම, තිරසර සංවර්ධන අරමුණු සහ ජාත්‍යන්තර සහයෝගීතාව ඇතුළු ප්‍රමුඛ ගෝලීය කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කරයි. සැප්තැම්බර් 23 වැනිදා සංවර්ධනය සඳහා ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් ඉහළ පෙළේ හමුවක්ද, 24 වැනිදා මුහුදු මට්ටම ඉහළ යාමේ තර්ජනය සම්බන්ධ හමුවක්ද, 25 වැනිදා වසංගත වැළැක්වීම හා සූදානම සම්බන්ධ ඉහළ පෙළේ හමුවක්ද පැවැත්වීමට නියමිතය.එමෙන්ම 2026 සැප්තැම්බර් 8 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරය නිල වශයෙන් ආරම්භ වී ඇති අතර, මෙවර සැසිවාරය සඳහා බංග්ලාදේශයේ කලීලූර් රහ්මාන් මහතා මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

කාලීන පුවත්