දැඩි වියලි කාලගුණය හේතුවෙන් හුරුලු පාරිසරික උද්‍යානය තාවකාලිකව වසා දමයි

පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් උද්‍යාන භූමිය තුළ නිරන්තරව ගිනි පැතිරීමේ දැඩි අවදානමක් පවතින බැවින්, පොළොන්නරුව හුරුලු පාරිසරික උද්‍යානය සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇති බව පොළොන්නරුව ප්‍රාදේශීය වන නිලධාරී කාර්යාලය දන්වා තිබේ.පොළොන්නරුව ප්‍රාදේශීය වන නිලධාරී විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත.එම නිවේදනයට අනුව, සංචාරක මහජනතාවගේ සහ උද්‍යානයේ වෙසෙන වන සත්ත්ව සම්පතේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. අදාළ කාල සීමාව තුළ උද්‍යානයට ඇතුළුවීම, ජීප් සෆාරි කටයුතු සහ සියලු සංචාරක ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව එහි දැක්වේ.උද්‍යානය යළි විවෘත කරන නිශ්චිත දිනය පිළිබඳව කාලගුණ තත්ත්වය සහ උද්‍යාන භූමියේ ආරක්ෂිත තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරියේදී දැනුම් දෙන බවද වන නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.
හබරණට උතුරින් උතුරු මැද පළාතේ පිහිටි හුරුලු පාරිසරික උද්‍යානය, හෙක්ටයාර 10,000කට අධික භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතී. එය හුරුලු වන රක්ෂිතයේ මායිමේ පිහිටා ඇති අතර 1977 වසරේදී ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කර ඇත.මෙම උද්‍යානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අලි කොරිඩෝවේ වැදගත්ම කොටසක් වන අතර මින්නේරිය – කවුඩුල්ල ජාතික වනෝද්‍යාන සමග සම්බන්ධ වෙමින් සෘතුමය අලි සංක්‍රමණයට තාවකාලික රැකවරණය සපයන ප්‍රධාන රක්ෂිතයකි. වියලි කාලගුණය තුළ දී විශේෂයෙන් අලි ඇතුන් විශාල වශයෙන් ඒකරාශී වන ස්ථානයක් ලෙස හුරුලු උද්‍යානය ප්‍රසිද්ධය.වර්තමානයේ දිවයින පුරා පවතින වියලි කාලගුණය හේතුවෙන් පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජලාශවල ජල මට්ටම 50% ට වඩා පහත වැටී ඇති අතර, වනාන්තර ගිනිගැනීම් වල අවදානම ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

කාලීන පුවත්