ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට අහිතකර කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඊයේ (9) කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව යළි අවධාරණය කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනයක සඳහන් වේ.දෙරට අතර පවතින ඓතිහාසික, ශිෂ්ටාචාරමය හා ජනතා සබඳතා මත ගොඩනැගුණු අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරටේ සංවර්ධනය හා ජනතා සුබසාධනය මෙන්ම ඉන්දීය සාගර කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට නායකයන් එකඟ වී තිබේ.මෙම සාකච්ඡාවට පැමිණි රාජ්නාත් සිං මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇති අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු ඓතිහාසික හා ශිෂ්ටාචාරමය බැඳීම් මත දෙරටේ ජනතාව අතර පවතින මිත්‍රත්වය පිළිබඳවද අවධාරණය කර ඇත.ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, දෙරටම සමීප අසල්වැසියන් සහ සමුද්‍රීය හවුල්කරුවන් ලෙස කටයුතු කරමින් කලාපීය ආරක්ෂාවට ඇති සාම්ප්‍රදායික හා නව තර්ජනවලට මුහුණදීම සඳහා සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ද එකඟ වී ඇති බවයි.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාව විසින් ‘සාගර් බන්ධු’ (Sagar Bandhu) මෙහෙයුම යටතේ ලබාදුන් හදිසි මානුෂීය සහන සහ පුනරුත්ථාපන ආධාර සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කර තිබේ. ඉන්දීය නිල තොරතුරුවලට අනුව එම මෙහෙයුම යටතේ සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීම, පුද්ගලයන් 2,500කට අධික පිරිසක් ඉවත් කිරීම සහ සහන ද්‍රව්‍ය ටොන් 1,058ක් ලබාදීම ඇතුළු ආධාර සිදුකර තිබේ.ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්නාත් සිං මහතා සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ ආසන්නතම මිතුරා සහ අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවක පළමු ප්‍රතිචාර දක්වන්නා ලෙස සහාය වීම ඉන්දියාවේ වගකීමක් ලෙස සලකන බවත්, ඉදිරියේදී ද එවැනි සහාය අඛණ්ඩව ලබාදෙන බවත්ය.