කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කථානායකවරයාගේ නිල නිවස හා ඔහුට ලබාදී ඇති පහසුකම් සම්බන්ධ ලේඛන රැසක් සිය භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.පාර්ලිමේන්තු නිලධාරීන් විසින් අදාළ ලේඛන කොමිසම වෙත භාරදී ඇති බව පැවසෙන අතර, කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු, ඔවුන්ගේ වැටුප් හා දීමනා පිළිබඳ විස්තර මෙන්ම වාහන භාවිතය සම්බන්ධ තොරතුරු ද ඒ අතර වන බව සඳහන් වේ. කථානායකවරයාට ලබාදී ඇති නිල නිවස, වාහන, ඉන්ධන සහ අනෙකුත් පහසුකම් පිළිබඳ තොරතුරු ද කොමිසම විසින් කැඳවා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.මෙම පැමිණිල්ල පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, එය සම්බන්ධයෙන් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති බව මෑත මාධ්‍ය වාර්තා සඳහන් කරයි.මේ අතර, දූෂණ විරෝධී පනතේ සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතව තිබියදී, එම විවාදයේ මුලසුන දැරීම සහ අදාළ පනත් කෙටුම්පත සහතික කිරීම කථානායකවරයා විසින් සිදුකිරීම අනුචිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දී තිබේ. එම තත්ත්වය මතු වී ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ පවතින විධිවිධාන සහ අදාළ සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අතරතුර කථානායකවරයාට එරෙහි පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්වෙන පසුබිමකය.