ධවල මන්දිරයෙන් CNN, MSNBC සහ Politico ඉවතට: ට්‍රම්ප්ගේ මාධ්‍ය තහනම මැතිවරණයට පෙර නව ගැටුමක් මතු කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත 2026 අතුරු මැතිවරණයට සති කිහිපයක් ඉතිරිව තිබියදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රධාන පෙළේ ඇමරිකානු මාධ්‍ය ආයතන අතර පවතින ගැටුම තවදුරටත් උත්සන්න වී තිබේ. එහි නවතම පියවර ලෙස CNN, MSNBC සහ Politico යන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කිරීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගෙන ඇත. ට්‍රම්ප් මෙම තීරණය සැප්තැම්බර් 18 වැනිදා සිය Truth Social ගිණුම ඔස්සේ ප්‍රකාශ කර ඇති අතර, එම මාධ්‍ය ආයතන තම පාලනය සම්බන්ධයෙන් “ව්‍යාජ පුවත්” පළ කරන බවට ඔහු චෝදනා කර තිබේ.

එම තහනම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පසුදින, එනම් සැප්තැම්බර් 19 වැනිදා එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කෙරිණි. CNN හි ධවල මන්දිර වාර්තාකාරිනී බෙට්සි ක්ලයින් (Betsy Klein), MSNBC හි වාර්තාකාරිනී අකේලා ගාඩ්නර් (Akeela Gardner) සහ Politico හි වාර්තාකාරිනී චෙයෑන් හැස්ලට් (Cheyenne Haslett) ඇතුළු මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට ඇතුළුවීමට අවසර නොදුන් අතර ඔවුන්ගේ මාධ්‍ය හැඳුනුම්පත් අක්‍රිය කිරීම හෝ භාර ගැනීම සිදුවී තිබේ.

ට්‍රම්ප්ගේ පාර්ශ්වයෙන් මෙම තීරණයට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ අදාළ මාධ්‍ය ආයතන විසින් දිගින් දිගටම තම පාලනය පිළිබඳ “ව්‍යාජ පුවත්” වාර්තා කිරීමයි. එහෙත්, එම ප්‍රකාශයට නිශ්චිත පුවත් වාර්තා කිහිපයක් උදාහරණ ලෙස ඉදිරිපත් කර නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. තවද, තවත් මාධ්‍ය ආයතනවලට ද මෙවැනි තහනම් පැනවිය හැකි බව ට්‍රම්ප් පවසා ඇත.

මේ අතර CNN, MSNBC සහ Politico යන ආයතන තුනම මෙම ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් තම මාධ්‍ය වාර්තාකරණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ප්‍රකාශ කර තිබේ. එම මාධ්‍ය ආයතනවලට අනුව, රජයේ ක්‍රියාකාරකම් පිළිබඳ ස්වාධීනව වාර්තා කිරීම මාධ්‍යයේ මූලික වගකීමක් වන අතර, ඒ සඳහා ධවල මන්දිරයට ප්‍රවේශය සීමා කිරීම ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් තහවුරු කර ඇති මාධ්‍ය නිදහස පිළිබඳ බරපතළ නීතිමය ගැටලු මතු කරයි.

ඒ අතර ධවල මන්දිර මාධ්‍ය නියෝජිත සංගමය (White House Correspondents’ Association) ද මෙම පියවර විවේචනය කරමින්, එක් මාධ්‍ය ආයතනයක් එහි වාර්තාකරණය හේතුවෙන් බැහැර කිරීමට යොදාගන්නා ප්‍රමිතිය ඉදිරියේදී වෙනත් මාධ්‍ය ආයතනවලට ද යොදාගත හැකි බව පෙන්වා දී ඇත. එම සංවිධානය මාධ්‍යවේදීන්ගේ ප්‍රවේශය යළි ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

මෙය ට්‍රම්ප් සහ ඇමරිකානු මාධ්‍ය අතර ඇති වූ පළමු ගැටුම නොවේ. ඔහුගේ පළමු ජනාධිපති ධුර කාලයේදී CNN මාධ්‍යවේදී ජිම් ඇකොස්ටාගේ (Jim Acosta) ධවල මන්දිර මාධ්‍ය අවසර පත්‍රය සම්බන්ධයෙන් ද නීතිමය ගැටුමක් ඇති වූ අතර, අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසුව එම ප්‍රවේශය යළි ලබාදීමට සිදුවිය. 2025 දී Associated Press ආයතනය සම්බන්ධයෙන් ද ධවල මන්දිරය මෙවැනි ප්‍රවේශ සීමා පැනවීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව, මෙවර සිදුවීම ඇමරිකානු ජනාධිපතිවරයා සහ මාධ්‍ය අතර පවතින දිගුකාලීන ගැටුමේ තවත් අදියරක් බවට පත්ව ඇති අතර, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග මෙන්ම නොවැම්බර් අතුරු මැතිවරණය ආසන්නයේ මාධ්‍ය හා දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙය කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව ද අවධානය යොමුව තිබේ.

කාලීන පුවත්