නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්පූර්ණයෙන් රජයට

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ නව දෙමුහුන් (Hybrid) මෙහෙයුම් රාමුවක් යටතේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ පූර්ණ හිමිකම රජයට ගැනීමටත්, එහි දෛනික කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරීමටත් රජය තීරණය කරයි.

මෙම නව වැඩපිළිවෙළ යටතේ රෝහල සහ එහි සියලු දේපළ භාණ්ඩාගාරය සතු පූර්ණ රාජ්‍ය සමාගමකට පවරනු ලබන අතර, රෝහලේ පාලන හා දෛනික මෙහෙයුම් කටයුතු පිළිබඳ වගකීම ගුවන් හමුදාව විසින් දරනු ඇත.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමි වී තිබේ.

යෝජිත සමාගම සමාගම් පනත යටතේ රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට නියමිත අතර, එහි 100%ක කොටස් හිමිකම භාණ්ඩාගාරය සතු වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 11 දෙනකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනු ඇත.මූල්‍ය විධිවිධාන යටතේ, 2026 සිට 2028 දක්වා කාලය සඳහා රෝහලේ කාර්ය මණ්ඩල වැටුප් සහ මෙහෙයුම් වියදම් සඳහා මහා භාණ්ඩාගාරය විසින් ප්‍රතිපාදන ලබා දෙනු ඇත. ඉන් පසුව රෝහල ස්වයං-මූල්‍යකරණය වන ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්ෂිතයි.

මෙම රෝහල මඟින් නොමිලේ මෙන්ම ගෙවීම් පදනම මත ද බාහිර හා නේවාසික රෝගී සේවා මහජනතාව වෙත ලබා දෙනු ඇත.නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමට සහය වීම සඳහා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිය අය-වැය ප්‍රතිපාදන හරහා වසරකට රුපියල් මිලියන 125ක් පමණ වටිනා ඖෂධ, වෛද්‍ය සැපයුම් සහ අනෙකුත් පාරිභෝජන ද්‍රව්‍ය ලබා දීමට නියමිතයි.

2017 ජූනි 27 වැනි දින ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව, 2017 අගෝස්තු 1 වැනි දින සිට මෙම රෝහලේ පාලන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා තිබිණි.

කාලීන පුවත්