දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හෙට (27) දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය අද (26) නිකුත් කළ විශේෂ නිවේදනයක මේ බව සඳහන් වේ. අමාත්යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව පාසල් වසා තැබීම හෙට දිනයට පමණක් සීමා වේ.කෙසේ වෙතත්, මේ දිනවල පැවැත්වෙන අධ්යයන පොදු සහතික පත්ර (සාමාන්ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට නියමිත බව ද අමාත්යාංශය අවධාරණය කරයි.දිවයින ආශ්රිතව පවතින සක්රීය කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්රදේශ රැසකට තද වැසි ඇදහැළෙන අතර, ඒ සමඟ ගංවතුර හා නායයෑම් ඇතුළු ආපදා තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ද පවතී. මෙවැනි තත්ත්වයක් තුළ සිසුන්ගේ ගමනාගමනයේ ආරක්ෂාව මෙන්ම පාසල් පරිශ්රවල ආරක්ෂාව ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.මීට පෙර පවතින කාලගුණික තත්ත්වය අනුව ප්රාදේශීය මට්ටමින් පාසල් පැවැත්වීම හෝ වසා තැබීම පිළිබඳ තීරණ ගැනීමේ බලය පළාත් අධ්යාපන බලධාරීන් වෙත පවරා තිබිණි. ඒ අනුව දිස්ත්රික්ක කිහිපයක පාසල් වසා තැබීමට ද පියවර ගෙන තිබිණි.කෙසේ වෙතත්, පවතින කාලගුණික අවදානම දිවයින පුරාම සැලකිල්ලට ගනිමින් හෙට දිනයේ සියලු පාසල් වසා තැබීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබේ.මේ අතර, අයහපත් කාලගුණය හමුවේ ගමනාගමනයේදී සහ ගංවතුර හෝ නායයෑම් අවදානමක් සහිත ප්රදේශවලදී අවධානයෙන් කටයුතු කරන ලෙස ද ජනතාවට උපදෙස් කෙරේ.