H-1B රැකියා අහිමිවීමේදී ලැබෙන දින 60 සහන කාලය අහෝසි කිරීමට ඇමෙරිකාව සූදානම්?

ඇමරිකා එක්සත් ජනපදය (USA) විසින් තොරතුරු තාක්ෂණය (IT), ඉංජිනේරු විද්‍යාව, ගණිතය, විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ මූල්‍ය වැනි විශේෂිත හා ඉහළ කුසලතා සහිත ක්ෂේත්‍රයන්හි විදේශීය වෘත්තිකයන් සේවයේ යෙදවීම සඳහා ලබා දෙන H-1B රැකියා වීසා යටතේ ඇමෙරිකාවේ තාවකාලික රැකියාවල නිරත විදේශීය සේවකයන්ගේ රැකියාවක් අහිමි වූ විට, නව රැකියාවක් සොයා ගැනීම සඳහා දැනට හිමිව තිබෙන දින 60ක සහන කාලය (Grace Period) අහෝසි කිරීමට ඇමෙරිකානු රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.මෙම යෝජනාව මේ වනවිට ධවල මන්දිරයේ කළමනාකරණ සහ අයවැය කාර්යාලයේ (Office of Management and Budget – OMB) සමාලෝචනයට ලක්වෙමින් පවතින අතර, යෝජිත වෙනස්කම් පිළිබඳ අවසන් තොරතුරු මෙතෙක් නිල වශයෙන් ප්‍රසිද්ධ කර නොමැත.ඇමෙරිකානු ආගමන නීතියේ 8 CFR 214.1(l)(2) වගන්තිය යටතේ මෙම සහන කාලය ක්‍රියාත්මක වන අතර, එහි සඳහන් වන්නේ DHS ආයතනයට ස්වකීය අභිමතය පරිදි මෙම කාලය අඩු කිරීමට හෝ සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට බලය ඇති බවයි. මෑත සති කිහිපය තුළ රැකියා අහිමි වූ ඇතැම් H-1B දරන්නන්ට දින 60ක කාලය අවසන් වීමට පෙරම “පෙනී සිටීමේ දැන්වීම්” (Notices to Appear – NTA) නිකුත් වීමෙන් එම අභිමත බලය දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවට විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
නව නීතියෙන් කුමක් සිදුවේද?මෙම නව යෝජනාව නීතියක් බවට පත්වුවහොත්, රැකියාව අහිමි වන විදේශීය සේවකයන්ට සහ ඔවුන් මත යැපෙන්නන්ට (H-4 වීසා දරන්නන්) ඇමෙරිකාව තුළ රැඳී සිට වෙනත් සේවා යෝජකයෙකු වෙත මාරුවීමට, වීසා කාණ්ඩය වෙනස් කිරීමට (Change of Status) හෝ නීත්‍යානුකූලව රැඳී සිටීමට වෙනත් විකල්ප සලකා බැලීමට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වේ. ඔවුන්ට වහාම ඇමෙරිකාවෙන් පිටවීමට සිදුවනු ඇත.උසස් කුසලතා සහිත විදේශීය සේවකයන් ඉලක්ක කර මෙම දින 60 සහන කාලය හඳුන්වා දෙන ලද්දේ 2017 වසරේදීය. එම නීතිය යටතේ රැකියාව අහිමි වන සේවකයින්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට දින 60ක කාලයක් හෝ වීසා කාලය අවසන් වන තෙක්, ඉන් කෙටි කාලය තුළ ඇමෙරිකාව තුළ රැඳී සිටිමින් වෙනත් සේවා යෝජකයෙකු සෙවීමට, නව වීසා බලපත්‍රයකට අයදුම් කිරීමට අවස්ථාව හිමිව තිබිණි.

කාලීන පුවත්