
නාසා (NASA) ආයතනයේ සයිචී (Psyche) අභ්‍යවකාශ යානය අඟහරු පසුකර යද්දී ලබාගත් ඡායාරූප රැසක් එක් කොට සකස් කළ වීඩියෝව මේ වන විට අභ්‍යවකාශ තොරතුරු පිළිබඳ උනන්දුවන්නන් අතර මහත් කතාබහකට ලක්ව තිබේ. මේ වීඩියෝව මගින් හෙළිකළ තොරතුරුවලට අනුව අඟහරු මතුපිටට යටින් දැවැන්ත යමහල් ලාවා ගංගා පැවතීම සොයාගැනීම සහ එහි දූවිලි කුණාටු නිසා ඇති වන අද්භූත විද්‍යුත් බලපෑම් හඳුනාගැනීම යන නවතම විද්‍යාත්මක සොයාගැනීම් හරහා රතු ග්‍රහයා පිළිබඳ අපගේ අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. මිනිසා පුරාණයේ සිටම අහසේ දිස්වන තරු හා ග්‍රහලෝක දෙස බලා දැඩි කුතුහලයකින් පසු වූයේය. එහිදී විශේෂයෙන්ම අඟහරු ග්‍රහයා පිළිබඳ විශේෂ උනන්දුවකින් යුක්ත විය. අඟහරු යනු අපගේ සූර්යග්රහ මණ්ඩලයේ වෙනත් ජීවයක් පැවතිය හැකිද යන්න පිළිබඳව වැඩිම අවධානයක් දිනාගත් ලෝකයයි. එහි කුරුමිට්ටන් වැනි ජීවීන් සිටින බවට වූ කල්පිත කතාන්දර ද ගොඩනැගී තිබිණි. මෑතකදී නිකුත් කරන ලද මෙම දත්තයන් මඟින් එම කුතුහලය තවත් ඉහළ නංවා තිබේ.

මෑතකදී අඟහරු පිළිබඳ කතාබහේදී මුල්තැනක් ගත් එක් සිදුවීමක් වූයේ මෙහි ආරම්භයේදීම සඳහන් කළ නාසා ආයතනයේ සයිචී (Psyche) අභ්‍යවකාශ යානයයි. ප්‍රධාන ග්රහක පටියෙහි ඇති ලෝහමය ද්‍රව්‍යවලින් නිර්මිත සයිචී ග්රහකය වෙත සිය දිගු ගමන අරඹා ඇති මෙම යානය, වේගය වැඩි කර ගැනීම සඳහා අඟහරුගේ ගුරුත්වාකර්ෂණය සාර්ථකව භාවිත කළේය. මෙලෙස අඟහරු මතුපිට සිට සැතපුම් 2,864 ක (කිලෝමීටර් 4,609 ක) ආසන්න දුරකින් ගමන් කළ අවස්ථාවේදී, යානයේ ඇති ප්‍රබල කැමරා සහ උපකරණ මඟින් අඟහරු මතුපිට අතිශයින් පැහැදිලි දසුන් රැසක් පටිගත කරනු ලැබීය.
මෙම මෙහෙයුමේදී ලබාගත් දත්ත සහ ඡායාරූප එකතු කර නිර්මාණය කරන ලද අප මුලින්ම සඳහන් කළ අපූරු කාල-විරාම (Time-lapse) වීඩියෝව මගින් යානය අඟහරු වෙත ළඟා වන විට රතු ග්‍රහයා මුලින්ම කුඩා දිලිසෙන අඩ සඳක් ලෙස පෙනී, ක්‍රමයෙන් විශාල වී එහි ඇති දැවැන්ත ආවාට (Craters), දක්ෂිණ ධ්‍රැවීය අයිස් තට්ටු මෙන්ම අඟහරුගේ කුඩා චන්ද්‍රයන් වන ෆෝබෝස් සහ ඩීමෝස් වැනි ග්රහක පවා ඉතා පැහැදිලිව දර්ශනය විය.
මෙම සාර්ථක මෙහෙයුමෙන් පසු, යානය 2029 දී ග්රහක වෙත ළඟා වීමේ අරමුණින් නියමිත මාවතේම ඉදිරියට ඇදී යන අතර, මෙම වසරේ (2026) අගභාගයේදී එහි සූර්ය-විද්‍යුත් තෙරපුම් පද්ධතිය (Solar-electric propulsion system) යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අඟහරුගේ මතුපිට අද වන විට සීතල, ශුෂ්ක සහ පාළු කාන්තාරයක් වුවද, මීට වසර බිලියන ගණනකට පෙර එය අතිශයින්ම ක්‍රියාකාරී ග්‍රහලෝකයක් විය. මෑතකදී නාසා ආයතනයේ ඉන්සයිට් (InSight) ලෑන්ඩර් යානයෙන් ලැබුණු භූ කම්පන දත්ත විශ්ලේෂණය කළ විද්‍යාඥයන් විසින් ඉතා විස්මිත සොයාගැනීමක් කර ඇත. එනම්, අඟහරු පෘෂ්ඨයට සැතපුම් ගණනක් යටින් දැවැන්ත, අන්තර් සම්බන්ධිත යමහල් ලාවා (Magma) ගංගා ජාලයක් පැවති බවට සාක්ෂි සොයාගැනීමයි.

පෘථිවියේ මෙන් අඟහරු මත තැටි භූ මගින් චලනය වීම් සිදු නොවේ. එහෙත්, මෙම භූගත ලාවා ගංගා මඟින් පෙන්වා දෙන්නේ ග්‍රහලෝකයේ අභ්‍යන්තරය තුළ අතීතයේදී දැවැන්ත උණුසුමක් සහ ලාවා ගමනාගමනයක් සිදුව ඇති බවයි. මෙම භූගත තාපය සහ ගිනිකඳු ක්‍රියාකාරකම් මඟින් අඟහරු මතුපිට තිබූ අයිස් දිය කර විශාල ජල කඳන් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇත. ජීවය ආරම්භ වීමට සහ පැවතීමට අත්‍යවශ්‍යම සාධකයක් වන ජලය සහ තාපය එකිනෙක ගැටීමට මෙම යමහල් ක්‍රියාවලීන් විශාල දායකත්වයක් ලබා දී තිබේ.

අඟහරු මතුපිට නිරන්තරයෙන් සිදුවන තවත් ස්වාභාවික සංසිද්ධියක් වන්නේ දැවැන්ත දූවිලි කුණාටු සහ දූවිලි සුළං (Dust devils) ය. මෑතකදී පර්යේෂකයන් සහ පර්සිවෙරන්ස් (Perseverance) රෝවරයෙන් ලැබුණු දත්ත පෙන්වා දෙන්නේ මෙම දූවිලි කුණාටු හුදෙක් සුළං පමණක් නොව, දැඩි ලෙස විද්‍යුතය ජනනය වන ස්වාභාවික සංසිද්ධි බවයි.

අඟහරුගේ අඩු පීඩන වායුගෝලය තුළ දූවිලි අංශු එකිනෙක ගැටීම නිසා දැඩි ස්ථිතික විදුලියක් (Static electricity) ජනනය වේ. මෙය නිතර සිදුවන කුඩා විදුලි විසර්ජන හෝ පුලිඟු (Electrostatic discharges) ඇති වීමට හේතු වේ. මේ හරහා ග්‍රහලෝකයේ වායුගෝලයේ රසායනික ක්‍රියාවලි වෙනස් වන අතර, ක්ලෝරීන් චක්‍රය වෙනස් වීමෙන් විවිධ සංයෝග සහ වායුජ කාබනේට් නිපදවීමට මෙම විද්‍යුත් බලපෑම් හේතු වේ. මෙම රසායනික ප්‍රතික්‍රියා මඟින් අතීතයේ ජීවී සෛල ගොඩනැඟීමට අවශ්‍ය කාබනික අණු නිර්මාණය වීමට හෝ ඒවා පරිසරයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය හිතකර තත්ත්වයන් සකස් කර තිබිය හැකි බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
මෙම නව සොයාගැනීම් සියල්ල එක් කොට බැලූ විට මතු වන ප්‍රධාන කාරණය වන්නේ “මෙයින් අඟහරු මත ජීවය පැවති බව තහවුරු වේද?” යන්නයි. විද්‍යාත්මකව බැලූ කල, පිළිතුර වන්නේ “නැත” යන්නයි. මන්ද, මේ කිසිවක් මඟින් සජීවී ක්ෂුද්‍ර ජීවීන් හෝ පොසිල ඍජුවම සොයාගෙන නොමැත.

එහෙත්, මෙම සොයාගැනීම් මඟින් අඟහරු යනු අතීතයේදී ජීවයට ඉතාමත් හිතකර, ගතික සහ සජීවී පරිසරයක් වූ බව තහවුරු කරයි. ඒ යමහල් ලාවා ගංගා මඟින් ග්‍රහලෝකයට අවශ්‍ය උණුසුම සහ ජලය සංසරණය කර තිබීමත්, දූවිලි කුණාටු නිසා ඇති වූ විද්‍යුත් විසර්ජන මඟින් ජීවයට අවශ්‍ය රසායනික පරිසරය සකස් කර දී තිබීමත්, සයිචී වැනි අභ්‍යවකාශ මෙහෙයුම් හරහා අපගේ සූර්යග්රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝකවල ඉතිහාසය හා ඒවායේ පරිණාමය පිළිබඳ අගනා දත්ත අඛණ්ඩව රැස් කරගනිමින් පැවතීමත් යන කරුණු හරහාය. එබැවින්, අඟහරු මත අතීතයේදී ජීවය බිහි වීමට අවශ්‍ය සියලුම මූලික භෞතික සහ රසායනික පසුබිම සැදී තිබී ඇති බවට මෙම සොයාගැනීම් ප්‍රබල හෝඩුවාවන් සපයයි. අනාගතයේදී අඟහරු වෙත යැවෙන තවත් මිනිස් සහ මිනිසුන් රහිත මෙහෙයුම් මඟින් මෙම අතීත අභිරහස් තවදුරටත් පරීක්ෂා කර බැලෙනු ඇත. රතු ග්‍රහයාගේ රහස් එකින් එක එළිදරව් වන මෙම යුගයේදී, අඟහරු පිළිබඳ අපගේ දැනුම දිනෙන් දින පොහොසත් වෙමින් පවතී.
නිරංජන් චාමින්ද කරුණාතිලක