ඒකක 180 ඉක්මවන පාරිභෝගිකයන්ට විදුලි ගාස්තු 18%කින් ඉහළට

2026 වසරේ දෙවන හා තෙවන කාර්තුවලට අදාළව ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම ගාස්තු ඉහළ නැංවීම හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.විදුලි උත්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් පවතින රුපියල් බිලියන 38ක මූල්‍ය හිඟය පියවා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු තුනක් පදනම් කරගනිමින් මෙම සංශෝධනයට අවසර ලබා දී ඇත.මෙම ගාස්තු වැඩිවීම සමස්ත පාරිභෝගික ප්‍රජාවෙන් බලපානු ලබන්නේ සියයට 5ක පමණ සුළු පිරිසකට පමණක් බව කොමිෂන් සභාව අවධාරණය කරයි. ඒ අනුව දිවයිනේ සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 95කට මෙම ගාස්තු සංශෝධනය අදාළ නොවේ. රජය විසින් රුපියල් බිලියන 15ක සහනයක් ලබාදීමට ලිඛිතව එකඟ වීම හේතුවෙන් මෙම සහනය මහජනයාට හිමිව තිබේ.
ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය:ගෘහස්ථ අංශය: ඒකක 0 – 180 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ගාස්තු වැඩිවීමක් නැත. ඒකක 180 ඉක්මවන පාරිභෝගිකයන්ට පමණක් 18%ක වැඩිවීම බලපැවැත්වේ.පොදු කාර්ය: GP1 කාණ්ඩයේ (ඒකක 180ට අඩු) පාරිභෝගිකයන්ට ගාස්තු වෙනසක් නැත. GP2 සහ GP3 කාණ්ඩ සඳහා 18%ක වැඩිවීමක් සිදු වේ.කර්මාන්ත: සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා ගාස්තු වැඩි නොවන අතර, විශාල පරිමාණයේ කර්මාන්ත සඳහා 18%කින් ගාස්තු ඉහළ යනු ඇත.හෝටල් ක්ෂේත්‍රය: H1 සහ H2 කාණ්ඩ සඳහා ගාස්තු ඉහළ නොයන අතර, අධික පරිභෝජනයක් සහිත හෝටල් සඳහා 18%ක ගාස්තු වැඩිවීමක් අදාළ වේ.පූජනීය ස්ථාන: ඒකක 180ට අඩු පූජනීය ස්ථාන සඳහා ගාස්තු වැඩිවීමක් සිදු නොවන අතර, ඒකක 180 ඉක්මවන ස්ථාන සඳහා 18%ක වැඩිවීමක් සිදු වේ.රාජ්‍ය ආයතන: සියලුම රාජ්‍ය ආයතන සඳහා 18%ක විදුලි ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක වේ.මෙම නව සංශෝධනයත් සමඟ අඩු ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන සාමාන්‍ය ජනතාවට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට සහනයක් සැලසෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්