ඕස්ට්‍රේලියානු ණය ගිණුම් මූල්‍ය මංකොල්ලය වැසීමට රජය උත්සාහ කරනවා

මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව පවත්වාගෙන ගිය ‘ඕස්ට්‍රේලියානු ණය ගිණුම්’ වල සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව වසන් කිරීමට රජය දැඩි උත්සාහයක නිරත වන බව ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (26) චෝදනා කළේය.කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, මෙම වංචාව අනාවරණය වීමත් සමඟ භාණ්ඩාගාරය තුළ ලිපි ලේඛන වෙනස් කරමින් සහ දින වකවානු සංශෝධනය කරමින් සාක්ෂි විකෘති කිරීමේ බරපතළ ක්‍රියාවලියක් මේ වන විට සිදුවෙමින් පවතින බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති එකඟතාව අනුව ණය ගෙවීමක් ප්‍රමාද කළ හැක්කේ දින 90ක් පමණක් වුවද, දැනට දින 100කට වඩා ගතවී ඇති බැවින් ශ්‍රී ලංකාව මේ වන විටත් තාක්ෂණිකව ණය පැහැර හැර ඇති රාජ්‍යයක් (Technical Default) බවට පත්ව ඇතැයි තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.”2022 අප්‍රේල් මස සිදුවූ බංකොලොත්භාවයෙන් පසු, 2026 අප්‍රේල් වන විට රට නැවතත් එම අගාධයටම වැටී තිබෙනවා. මුදල් අමාත්‍යවරයා හෝ මහ බැංකුව මේ සත්‍යය පාර්ලිමේන්තුවට හෙළි නොකිරීම බරපතළ වරදක්,” යැයි ඔහු සඳහන් කළේය.මෙම මූල්‍ය මංකොල්ලය අනාවරණය වීමෙන් පසු භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්, අභ්‍යන්තර විමර්ශන කමිටු පත්කිරීමේ ලිපිවල දින වකවානු වෙනස් කර ඇති බවට තෙන්නකෝන් මහතා ලේඛන සහිතව කරුණු ඉදිරිපත් කළේය. මුල් විමර්ශන වාර්තා පදනම් කරගෙන නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කළද, සැබෑ වැරදිකරුවන්ට ගැලවී යාමට මාවත විවෘත කර ඇති බව ඔහු පැවසීය.මහ බැංකුවේ භූමිකාව විවේචනය කරමින් ඔහු කියා සිටියේ, මහජනතාවට පරිගණක මූල්‍ය අපරාධ ගැන උපදෙස් දෙන මහ බැංකුව, තමන්ගේ සෘජු වගකීම යටතේ තිබූ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් නිහඬව සිටීම සැක සහිත බවයි.භාණ්ඩාගාරයේ වත්මන් පරිපාලනය දැඩි විවේචනයට ලක් කළ තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය:
“පසුගිය මාස 12 තිස්සේ භාණ්ඩාගාරය පාලනය වන්නේ දේශපාලන ‘කල්ට්’ එකකින්. පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත් කර අත්දැකීම් අඩු නිලධාරීන් යටතේ භාණ්ඩාගාරය අඩපණ කරලා. ඕස්ට්‍රේලියානු ණය ගිණුම්වලට අමතරව ප්‍රංශ ණය සම්බන්ධ ලේඛන ද අතුරුදන් වී තිබෙනවා.”වත්මන් භාණ්ඩාගාර ලේකම්වරයා වහාම ධුරයෙන් ඉවත් කළ යුතු බවත්, මෙම මූල්‍ය මංකොල්ලය සහ ලේඛන විකෘති කිරීම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සත්‍යය රටට හෙළි කළ යුතු බවත් ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්