කඩිගමුවේ නායයෑමේ අවදානමෙන් රඹුක්කන–ගම්පොළ දුම්රිය ධාවනය යළිත් අත්හිටුවයි

අධික වර්ෂාව හේතුවෙන් රඹුක්කන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නායයෑමක් සක්‍රිය වී දුම්රිය මාර්ගයට අඛණ්ඩව පස් සේදී ඒම නිසා, රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා සියලු දුම්රිය ධාවන කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදනය අනුව මෙම අත්හිටුවීම ඔක්තෝබර් 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර, අදාළ දුම්රිය මාර්ගයේ ආරක්ෂාව තහවුරු කර ධාවනයට සුදුසු තත්ත්වයට පත් කරන තෙක් එය බලපැවැත්වේ.

කඩිගමුව ආසන්නයේ පවතින නායයෑමේ අවදානම හේතුවෙන් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔක්තෝබර් 24 සහ 25 යන දෙදින තුළ හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ. එහෙත් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් යළිත් පස් කඳු කඩා වැටීමේ අවදානම පවතින බැවින් දුම්රිය ධාවනය ආරම්භ කිරීම ආරක්ෂිත නොවන බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම තීරණය ගෙන ඇත්තේ දුම්රිය මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙසය.

මේ අතර, නායයෑම් සහ පස් කඳු කඩා වැටීම්වලට නැවත නැවතත් ලක්වන ප්‍රදේශයක් හරහා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට පෙර එහි පාංශු ස්ථාවරත්වය පිළිබඳ විද්‍යාත්මක ඇගයීමක් සිදු කළ යුතු බවට ද විවිධ පාර්ශ්ව අදහස් පළ කර තිබේ. ඒ සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) තාක්ෂණික ඇගයීමක් ලබාගෙන, අවදානම පිළිබඳ නිසි තක්සේරුවකින් පසු දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමේ වැදගත්කම ඔවුහු අවධාරණය කරති.

කෙසේ වෙතත්, එවැනි ඇගයීමක් සිදුකර තිබේද යන්න හෝ එහි ප්‍රතිඵල පිළිබඳ නිල තොරතුරක් මෙතෙක් තහවුරු වී නොමැත.

අදාළ කාලසීමාව තුළ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සඳහා මුදල් ගෙවා ආසන වෙන්කරවා ගත් මගීන්ට, තමන් ගෙවූ සම්පූර්ණ මුදල ඕනෑම දුම්රිය ස්ථානයකින් නැවත ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම හදිසි දුම්රිය ධාවන අත්හිටුවීම හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ද දෙපාර්තමේන්තුව සිය කනගාටුව පළ කර තිබේ.

Uncategorized