කාවන්තිස්ස නඩුව යළි කැඳවීම අද

කාවන්තිස්ස නමින් ප්‍රකටව සිටි ඇතු ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනාට අදාළ නඩුව අද (11) මහව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 28 වැනිදා පැවැති නඩු විභාගයේදී මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මහත්මිය නියෝග කර තිබුණේ සැකකරුවන් වන ශාන්ත ධර්මසිරි රත්නායක සහ ලක්මාල් පද්මසිරි යන දෙදෙනා අද දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.එහිදී අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබූ වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව මියගිය ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් ගිනිඅවි දෙකට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව සහ ඇතාගේ මරණයට හේතුව වෙඩි වැදීමක්ද නැතහොත් අධික ප්‍රතිජීවක ඖෂධ භාවිතයද යන්න තහවුරු කරගැනීමට අදාළ විද්‍යාත්මක විශේෂඥ වාර්තාව ඒ අතර වේ.මීට අමතරව මෙම අපරාධයට සැකකරුවන් සම්බන්ධ වූ ආකාරය සහ ඒ බව තහවුරු කෙරෙන සාක්ෂි ඇතුළත් වාර්තාවක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම ද අද දින සලකා බැලීමට නියමිතව තිබීම මෙම නඩු විභාගයේ තවත් වැදගත් කරුණකි. ඒ අනුව අදාළ විද්‍යාත්මක හා විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන්නේද, සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නේද නැතහොත් ඇප මත මුදාහරින්නේද යන්න පිළිබඳව අද දින තීරණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් ටෙලිනාට්‍ය කණ්ඩායමක් ලෙස වෙස්වලාගෙන ගොස් තේ කඩයකින් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ බවට විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු ද මීට පෙර අධිකරණයේදී ප්‍රශ්න කිරීමට ලක්ව තිබිණි. එම කරුණු සම්බන්ධයෙන් අධිකරණය දැඩි ප්‍රශ්න කිරීම් සිදුකිරීම ද මෙම නඩුවේ විශේෂ අවධානයට ලක්වූ කරුණක් විය.
කාවන්තිස්සගේ ඇතු ගේ මරණයට සැබෑ හේතුව අනාවරණය කරගැනීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක සාක්ෂි සහ විමර්ශන වාර්තා අද අධිකරණයට ඉදිරිපත් කිරීම මෙම නඩු විභාගයේ තීරණාත්මක අවස්ථාවක් වනු ඇත.

කාලීන පුවත්