ජාතික සම්පතක් ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව එහි පළමු රැස්වීම ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති මහතාගේ ප්රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර, 2026 ඔක්තෝබර් මස 16 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී මියගිය කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරි ඇති වගකීම් වේ.මෙහිදී ඇතාගේ මරණයට හේතුව සහ ඇතාට සිදුවූ හානියේ ස්වභාවය මෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.අනාගතයේදී මෙවැනි තත්ත්වයන් හමුවේ කඩිනමින් ගත යුතු ක්රියාමාර්ග නිශ්චය කිරීම සඳහා විද්යාත්මක පදනමක් මත සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ක්ෂේත්රයේදීම කඩිනම් ප්රතිචාර දැක්වීම සඳහා පශු වෛද්ය ඒකකයක් (Rapid Response Veterinary Unit) ස්ථාපිත කිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමු වී ඇත. මීට අමතරව මේ සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ද තීරණය කර ඇත.මෙම අවස්ථාවට විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක, ජනාධිපති අතිරේක ලේකම් ඩබ්. ඩබ්. හැරිසන්, විශේෂඥ කමිටුවේ සභාපති, හිටපු අමාත්යාංශ ලේකම් ඒ. එච්. සරත් විජේසිංහ, කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය පී. ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ. කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු එක්ව සිටියහ.මේ අතර කාවන්තිස්ස ඇතාගේ ජීවිතයට එල්ල විය හැකි බරපතල අවදානම පිළිබඳව බොහෝ පාර්ශවයන් අදාළ බලධාරීන්ට දන්වා සිටියද ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඇතුට වෙඩි වැදී සති කිහිපයක් ගත වන තුරුම ඒ සම්බන්ධ නිසි ක්රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට ජනතාවගේ විශේෂ අවධානය යොමු වී තිබේ.එසේම ඇතුගේ මරණයෙන් ජනතාව ප්රකම්පාවට පත් වන පසුබිමක වනජීවී දෙපාර්තමේන්තුව සහ වලාන දූෂණ මර්දන ඒකකය එක් වරම ඇතාට වෙඩි තැබූ බවට සැකපිට ඇහැටු වැව ප්රදේශයේ බලපත්රලාභී තුවක්කු හිමියන් දෙදෙනෙකු අධිකරණය හමුවට පත් කිරීම ද දැඩි කතාබහට ලක්ව ඇති කරුණකි.