මක්කම ගිය බංග්ලාදේශ තරුණ විවාහක යුවළගේ හිස් ගසා දැම්මේ ඇයි?

සිටි අක්තර් (City Akhter) සහ නස්රුල් ඉස්ලාම් අබ්දුල් බසීර් (Nazrul Islam Abdul Basir) යන බංග්ලාදේශ තරුණ විවාහක යුවළ 2026 ඔක්තෝබර් 14 වන දින සෞදි අරාබියේ මක්කම නගරයේදී මරණ දඬුවමට ලක් කරන ලදී. සෞදි අරාබියේ මක්කමේ මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදු වූ බව කියන අශෝභන හා ලිංගික ක්‍රියාවක නිරත වීම යන චෝදනාව සම්බන්ධයෙන් බංග්ලාදේශ ජාතික යුවළකට මරණ දඬුවම ක්‍රියාත්මක කළ බවට පළ වූ එම පුවත ලෝක අවධානයට ලක් වූයේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් ඉතිරි කරමිනි. පසුව එම මෘත දේහ බංග්ලාදේශයට යවා තිබේ. එම යුවළට එල්ල වූ චෝදනාව සඳහන් වන්නේ මෙලෙසිනි:

“Committing an immoral and obscene act / sexual act inside a mosque in the holy city of Mecca, violating the sanctity of the mosque.”

(මක්කම ශුද්ධ වූ නගරයේ පිහිටි දේවස්ථානයක් තුළ අශෝභන හා ලිංගික ක්‍රියාවක නිරත වෙමින් දේවස්ථානයේ පූජනීයත්වය උල්ලංඝනය කිරීම)

සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශයට අනුව එම යුවළ මක්කම දේවස්ථානයක් තුළ එම ක්‍රියාව සිදුකර ඇති බවට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. මූලික පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, අධිකරණය තඃසීර් (Ta’zir) – ඉස්ලාමීය නීතිය යටතේ විනිසුරුවරයාට ඇති අභිමතානුසාරී (Discretionary) බලය යටතේ මරණ දඬුවම නියම කර තිබේ. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ “ක්‍රියාවේ බරපතළකම සහ පූජනීය ස්ථානයේ ගරුත්වය උල්ලංඝනය කිරීම” යන්නයි.

සෑම පිරිමියෙකුටම සහ ගැහැනියකටම ආදරය කිරීමට ස්වභාවික අයිතියක් ඇත. තමන් ආදරය කරන කෙනාගේ අත අල්ලා ගැනීමට, නළල සිප ගැනීමට, ජීවිතය පුරා එකට සිටීමට සිහින දැකීමට ඔවුන්ට අයිතියක් ඇත. එහෙත් ඒ සියල්ලටම සීමා තිබිය යුතු යැයි කියන ආගමික ව්‍යුහයන් ද තිබේ. ආගමික විශ්වාස, සංස්කෘතික සම්ප්‍රදායන් සහ රාජ්‍ය නීති මගින් එවැනි සීමා පනවනු ලබයි. එහෙත් ඒ සීමාවක් ඉක්මවා යෑම යුවළකගේ ජීවිත අහිමි කිරීමට තරම් බරපතළ වරදක් විය හැකි ද?

මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ නිල වාර්තාව සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව අතර ඇති පරස්පරතාවන් ය.

සමාජ මාධ්‍යවල පැතිරෙන්නේ ඔවුන් අලුත විවාහ වූ යුවළක් බවත්, මධුසමය ගත කිරීමට මක්කමට පැමිණ නළල සිපගැනීමක් කළ නිසා පමණක් මරණ දඬුවමට ලක් වූ බවත් යන කතාවයි. එහෙත් සෞදි බලධාරීන් නිශ්චිතව සිදු වූ ක්‍රියාව කුමක්ද යන්න නිල ප්‍රකාශයේ සඳහන් කර නැත. ඔවුන් සඳහන් කර ඇත්තේ පල්ලිය තුළ අශෝභන ලිංගික ක්‍රියාවක් සිදු වූ බව පමණි.

තවද බංග්ලාදේශයේ ‘The Daily Star’ පුවත්පත වාර්තා කරන්නේ නස්රුල්ගේ පියා පවසා ඇත්තේ ඔහුගේ පුතා සෞදි අරාබියට ගියේ රැකියාවක් සඳහා බවත්, ඔහු සමඟ අත්අඩංගුවට ගත් තරුණිය පිළිබඳව තම පවුල නොදන්නා බවත් ය. ඔහු සෞදියට පැමිණ මාස හයකට පමණ පසු අත්අඩංගුවට ගෙන ඇති අතර, 2026 ඔක්තෝබර් 14 දින ක්‍රියාත්මක කිරීමට පෙර වසර තුනක් සහ මාස තුනක් පමණ රඳවා තබාගෙන සිටි බව වාර්තා වේ.

මෙම පුවතත් සමඟ ජාත්‍යන්තර මාධ්‍යවල සංසරණය වන සේයාරුවක්
මෙම පුවතත් සමඟ ජාත්‍යන්තර මාධ්‍යවල සංසරණය වන සේයාරුවක්

එමෙන්ම මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර බංග්ලාදේශයේ ජෙඩාහි කොන්සල් කාර්යාලයට දැනුම් දී නොතිබූ බවට වාර්තා පළ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් බංග්ලාදේශය සෞදි බලධාරීන්ගෙන් නිල පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

එබැවින් සිපගැනීමක් පමණක් නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව නිශ්චිතව ප්‍රකාශ කිරීම වෙනුවට, නිල වශයෙන් තහවුරු කර ඇති කරුණු සහ තවමත් තහවුරු නොවූ ප්‍රචාර වෙන් කර හඳුනාගැනීම වැදගත් ය. සෞදි අරාබියේ නිල නිවේදන උපුටා දක්වන වාර්තාවල සඳහන් වන්නේ අදාළ මරණ දඬුවම ‘තඃසීර්’ යන නීතිමය සංකල්පය යටතේ පැනවූ බවයි. ඉස්ලාමීය නීති සම්ප්‍රදාය තුළ තඃසීර් යනු ඇතැම් නිශ්චිත දඬුවම් (Hudud) වර්ගවලට අයත් නොවන වරදවල් සම්බන්ධයෙන් විනිසුරුවරයාට හිමි වන අභිමතානුසාරී (Discretionary) දඬුවම් ක්ෂේත්‍රයකි. තඃසීර් යනු ඉස්ලාමීය නීතිය යටතේ විනිසුරුවරයාට ඇති අභිමතානුසාරී බලය ලෙස දැක්වීම වඩාත් නිවැරදි ය.

එහෙත් විනිසුරුවරයාට අභිමතානුසාරී බලයක් තිබීමෙන් ඕනෑම දඬුවමක් කිසිදු සීමාවකින් තොරව සාධාරණීකරණය කළ හැකි බව අදහස් නොවේ. දඬුවමට අදාළ නීතිමය පදනම, වරදේ ස්වභාවය, සාක්ෂිවල විශ්වසනීයත්වය, චූදිතයාගේ අයිතිවාසිකම් සහ දඬුවමේ සමානුපාතිකභාවය යන කරුණු විමසා බැලිය යුතුය. විශේෂයෙන්ම මරණ දඬුවමක් සම්බන්ධයෙන් අධිකරණයේ වගකීම වඩාත් මානුෂීය හා දැඩි විය යුතුය. නමුත් මෙම නීතිමය පටිපාටිය කෙසේ අනුගමනය වී දැයි ප්‍රසිද්ධ කර නැත. ඒ කෙසේ හෝ එම යුවළ අතර සිදු වූ හුදු ප්‍රේමනීය හැසිරීමකට අශෝභන හා ලිංගික ක්‍රියාවක් යන අර්ථ නිරූපණය ‘තඃසීර්’ යන නීතිමය සංකල්පය යටතේ කෙසේ පැනවිණි ද යන කුකුස කා තුළත් ඇති වීම ස්වාභාවිකය. එමෙන්ම විවාහක මුස්ලිම් යුවළක් වන ඔවුන් ලිංගික හැසිරීමක් සඳහා එවන් පූජනීය දේවස්ථානයක් තෝරා ගත් බව පිළිගැනීමේ අසීරුවක් අප තුළ ද තිබේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සංවිධානය 2026 ජූනි මාසයේ නිකුත් කළ වාර්තාවකට අනුව, එම වසරේ ජනවාරි 1 සිට ජූනි 22 දක්වා සෞදි අරාබිය පුද්ගලයන් 96 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. මෙම සංඛ්‍යා මක්කම සිද්ධියේ නීතිමය සාධාරණත්වය පිළිබඳ තනිවම නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් නොවුණද, මරණ දඬුවම සහ විදේශීය කම්කරුවන්ගේ පුද්ගල නිදහස හා නීතිමය ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වීමට හේතු පැහැදිලි කරයි.

සෞදි අරාබියේ පිහිටි මක්කම යනු ඉස්ලාම් ආගමික ලෝකයේ අතිශය පූජනීය නගරයයි. එහි පිහිටි මස්ජිදුල් හරාම් මුස්ලිම් ජනතාවගේ ප්‍රධානතම පූජනීය දේවස්ථානය වන අතර, එහි මධ්‍යයේ කඃබාව පිහිටා තිබේ.

හජ් වන්දනාව ඉස්ලාමයේ මූලික ආගමික වගකීම් පහෙන් එකකි. බොහෝ මුස්ලිම්වරුන්ට මක්කමට යෑම ජීවිත කාලයක් පුරා පවතින සිහිනයකි. එබැවින් මක්කම දේවස්ථානයේ ගෞරවය ආරක්ෂා කිරීම මුස්ලිම් ජනතාවට සුළු කාරණයක් නොවේ.

එහෙත් පූජනීයත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සිතන විට තවත් ප්‍රශ්නයක් මතු වේ. පූජනීය ස්ථානයක් ගෞරවයට පාත්‍ර වන්නේ එහි ගොඩනැගිලි, බිත්ති සහ වස්තූන් නිසා පමණක් ද? නැතහොත් එම ස්ථානයට පැමිණෙන මිනිසුන්ගේ මානුෂීය හැඟීම්, ආත්මීය නිදහස, ජීවිතය සහ ගෞරවය ආරක්ෂා කිරීම ද එහි පූජනීයත්වයේ කොටසක් නොවන්නේ ද?

ශරීආ නීතිය ගැන සාකච්ඡා කිරීමේදී ඉස්ලාමීය ආගමික මූලධර්ම සහ යම් රාජ්‍යයක් ඒවා අර්ථකථනය කර ක්‍රියාත්මක කරන ආකාරය අතර වෙනස හඳුනාගැනීම වැදගත් ය. අල් කුර්ආනයේ සූරා අන්-නිසා 4:135 සහ සූරා අල්-මාඉදා 5:8 හි සඳහන් වන්නේ තමන්ට හෝ සමීප ඥාතීන්ට එරෙහිව වුවද යුක්තිය වෙනුවෙන් ස්ථිරව පෙනී සිටින ලෙසත්, අයුක්ති සහගත වීමට ඉඩ නොදෙන ලෙසත්ය.

ඉස්ලාමීය නීති දර්ශනයේ වැදගත් සංකල්පයක් වන්නේ ‘මකාසිදුෂ් ශරීආ’ (ශරීආ නීතියේ මූලික අරමුණු) යන්නයි. ඒවා නම්:

  • ආගම ආරක්ෂා කිරීම
  • මිනිස් ජීවිත ආරක්ෂා කිරීම
  • බුද්ධිය ආරක්ෂා කිරීම
  • පවුල හා පරම්පරාව ආරක්ෂා කිරීම
  • දේපළ ආරක්ෂා කිරීම

යම් ආගමික ස්ථානයක විනය කඩ කිරීමක් සිදු වූ බව කියන අවස්ථාවක එම ස්ථානයේ ගෞරවය රැකීම වැදගත් බව ඒකාන්ත සත්‍යයකි. නමුත්, එම අරමුණ ඉටු කිරීම සඳහා තෝරාගන්නා දඬුවම මිනිස් ජීවිතයට එල්ල කරන බලපෑම ද සැලකිල්ලට ගත යුතුය.

දේහයන් දෙක බංග්ලාදේශයට භාර දීම
දේහයන් දෙක බංග්ලාදේශයට භාර දීම

සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල විදේශීය කම්කරුවෝ විශාල පිරිසක් සේවය කරති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විදේශගත වන්නේ තම පවුල්වල ආර්ථික දුෂ්කරතා අඩු කර ගැනීමේ අරමුණෙනි. එහෙත් කම්කරුවෙකු විදේශිකයෙකු වීම නිසා ඔහුට නීතිය ඉදිරියේ අඩු ආරක්ෂාවක් හිමි විය යුතු ද?

අවසානයේදී අප ඉදිරියේ ඉතිරි වන්නේ එක් මූලික ප්‍රශ්නයකි: දේවස්ථානයක පූජනීයත්වය ආරක්ෂා කිරීම සඳහා මිනිස් ජීවිතයක් අහිමි කළ යුතු වූයේම ද? එය අල්ලාහ්ගේ නාමයෙන් සිදු වූවක් ද නැතහොත් දහ අට වන සියවසේ ඉස්මතු වූ වහාබ්වාදය වැනි මූලධර්මවාදී අර්ථකථන මත පදනම් වූවක් ද යන්න පිළිබඳව අපි ගැඹුරින් සිතා බැලිය යුතුය. මෙම වහාබ්වාදී සංකල්ප සෞදි අරාබියේ නිල නීති සම්පාදනය වීම පිණිස මහෝපකාරී වී තිබේ.

යමෙකුගේ ජීවිතය අවසන් කළ පසු එය නැවත ලබා දිය නොහැකිය. එබැවින් මරණ දඬුවමක් ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකම නීතිය, සාක්ෂි, සාධාරණත්වය සහ මානුෂීය වගකීම පිළිබඳ ප්‍රශ්න මතු වීම ස්වභාවිකය. නීතියේ අරමුණ විය යුත්තේ වරදක් හඳුනාගෙන දඬුවම් පැනවීම පමණක් නොව, සාධාරණත්වය ආරක්ෂා කිරීම ද වේ. ශුද්ධ වූ කුරානය අපට කියා දෙන උත්තරීතර ආදර්ශ අතුරින් එය ද එකකි. ඒ අනුව, මෙම දඬුවම හමුවේ අල්ලාහ්ගේ අසීමිත දයාවන්ත හා කරුණාවන්ත භාවය කෙසේ අර්ථ ගැන්වේද යන කුකුස අප තුළ මතු වේ. එමෙන්ම මෙම සංසිද්ධියේ ඇති මානුෂීය ස්වරූපය මුල් කොටගෙන සාහිත්‍ය නිර්මාණ සහ සිනමා කෘති බිහි කිරීමට ඕනෑම කෙනෙකුට ඇති හැකියාව නොපිළිගෙන සිටීමටද අපට නොපුළුවන. එසේම එවැනි නිර්මාණ පිටුදැකීමට ද අපට නොහැක්කේම ය.

 

ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර