අධිකරණය ලබා දුන් නියෝග ක්රියාත්මක නොකර උසාවිය රැවටීමට උත්සාහ දැරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇතැයි තීරණය කරමින් ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා ඊයේ (21) පොලිස්පතිට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව අදාළ නඩු ලිපිගොනු අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත. පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාට එරෙහිව මෙම පියවර ගෙන ඇති බව විදේශ මාධ්ය වාර්තා කරයි.මෙම තීන්දුවට පසුබිම් වී ඇත්තේ ගම්පහ, දෙවලපොළ, මාකන්දන ප්රදේශයේ පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැති පුරවැසියාට එරෙහිව ගම්පහ දූෂණ මර්දන අංශය විසින් පවරන ලද මත්ද්රව්ය නඩු දෙකකි.2026 මැයි 06 වන දිනට ආසන්න දිනක ගම්පහ අස්ගිරිය හන්දියේදී අයිස් මිලිග්රෑම් 130ක් සහ හෙරොයින් මිලිග්රෑම් 500ක් සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් අංක 1743 සහ 1744 දරන නඩු දෙකම එකම පුද්ගලයාට එරෙහිව එකම දිනයේ පවරා තිබී ඇත.එකම පුද්ගලයාට එකම දිනයේ නඩු දෙකක් පැවරීම නිරීක්ෂණය කළ මහේස්ත්රාත්වරයා, එය පීඩාකාරී සහ පදනම් විරහිත නඩු පැවරීමක් ලෙස හඳුනාගෙන තිබේ. පසුව පොලිසිය විසින්ම 1743 දරන නඩුව ඉල්ලා අස්කරගෙන 1744 දරන නඩුව පමණක් පවත්වාගෙන යාමට අවසර ඉල්ලා සිටියද, මහේස්ත්රාත්වරයා එම ඉල්ලීම තරයේ ප්රතික්ෂේප කර ඇත.මෙම නිස්සාර නඩු පැවරීම සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයා විසින් වැටලීම කළ බව කියන පොලිස් නිලධාරීන් තිදෙනාට විත්තිකරුට රු. 25,000 බැගින් පෞද්ගලිකව වන්දි ගෙවීමටත්, පොලිස් දෙපාර්තමේන්තුව විසින් රු. 50,000 බැගින් ලක්ෂයක වන්දියක් ගෙවීමටත් නියෝග කර තිබුණි.මෙවැනි අහිංසක පුරවැසියන්ට අසත්ය නඩු පැවරීම වහාම වළක්වන ලෙස සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි චක්රලේඛයක් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට මහේස්ත්රාත්වරයා මාස පහකට පෙර නියෝග කර තිබුණි. අවස්ථා දෙකකදී කල් ලබාදී තිබියදීත් එම නියෝගය ඉටු වී නොතිබුණි.නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරීන් වන පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා සහ ප්රධාන පොලිස් පරීක්ෂක ප්රණීත ජයවර්ධන යන මහත්වරුන් විසින් පොලිස්පතිවරයාගේ චක්රලේඛය වෙනුවට බස්නාහිර පළාත (උතුර) භාර නියෝජ්ය පොලිස්පතිවරයා විසින් නිකුත් කළ ප්රාදේශීය උපදෙස් පත්රිකාවක් ඉදිරිපත් කර ඇත.
එය පරීක්ෂා කළ මහේස්ත්රාත්වරයා විවෘත අධිකරණයේදී දැඩි අප්රසාදය පළ කරමින් “මේක මාව අන්දවන්න කරපු දෙයක්” යනුවෙන් ප්රකාශ කර ඇත.
මහේස්ත්රාත්: මං නියෝග දීලා තියෙන්නේ කාට ද?
ප්රධාන පොලිස් පරීක්ෂක: පොලිස්පතිවරයාට.
මහේස්ත්රාත්: එතකොට මේ ලියුම කාගේ ද? මේක හරියට බල්ලගේ වැඩේ බූරුවාට භාර දීමක් වගේ. මුළු ලංකාවේම ඉන්න සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කරන්න කීවාම, පළාතෙන් පළාතේ ඉන්න පොලිස් නිලධාරීන්ට වෙන වෙනම උපදෙස් පත්රිකා නිකුත් කළාම හරි යනවා ද?
එමෙන්ම “රෑට හීනෙන් දකින දේවල්වලට පහුවෙනිදා උදේ චක්රලේඛ නිකුත් කරන රටේ මේ වගේ දේකට අදාළව චක්රලේඛයක් නිකුත් කරන්නයි කියලා අධිකරණයෙන් නියෝගයක් දුන්නාම තමයි ඒක කරන්න බැරි” යනුවෙන්ද මහේස්ත්රාත්වරයා ප්රකාශ කර ඇත.
එමෙන්ම මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා මෙහිදී පොලිසියේ ක්රියාකලාපය දීර්ඝ ලෙස විවේචනය කර තිබේ.
එක් මාසයක පවරන නඩු ප්රමාණයට වඩා වැඩි නඩු ප්රමාණයක් ඊළඟ මාසයේදී ගත යුතු යැයි ඉහළ නිලධාරීන් අණ කිරීම ප්රගතිය මැනීමක් නොවන බවත්, එම “ටාගට් ක්රමයට” නඩු දැමීමට ගියහොත් තවත් වසර පහක් යන විට නඩු පැවරීමට ලංකාවේ ජනගහනය පවා මදි වනු ඇති බවත් මහේස්ත්රාත්වරයා ප්රකාශ කර ඇත.පොලිසිය ඉදිරිපත් කරන මත්ද්රව්ය ප්රමාණවලට වඩා අඩු ප්රමාණයක් හෝ කිසිදු මත්ද්රව්යයක් අඩංගු නොවන බවට රජයේ රස පරීක්ෂක වාර්තාවලින් හෙළි වන බවත්, අධිකරණයේ අභිමතය සීමා කිරීමේ උපක්රමයක් ලෙස අන්තරාදායක ඖෂධ පනතේ 54 වැනි වගන්තිය අවභාවිත කරන බවත් ඔහු පෙන්වා දී ඇත.එමෙන්ම මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ගම්පහ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කැඳවුවද ඔහුද අධිකරණය මඟහැරීමෙන් අධිකරණය කෙරෙහි ඇති නොසැලකිල්ල පැහැදිලි වන බවද මහේස්ත්රාත්වරයා සඳහන් කර ඇත.අවසානයේදී, නියෝගය ඉටු කිරීම පසෙක තබා පොලිසිය අධිකරණය මුලා කිරීමට කටයුතු කර ඇති බවත්, එමගින් පොලිස්පතිවරයා උසාවිය හෑල්ලුවට ලක් කර ඇති බවත් නිගමනය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට අභියාචනාධිකරණ සභාපතිවරයා වෙත නඩු ලිපිගොනු යොමු කිරීමට තීන්දු කර ඇත.මෙය ශ්රී ලංකාවේ පොලිස්පතිවරයෙකුට එරෙහිව මහේස්ත්රාත් අධිකරණයක් විසින් අධිකරණයට අපහාස කිරීමේ ක්රියාමාර්ගයක් ආරම්භ කළ දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ.