මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව රැගත් Michael චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවයි

මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව රැගත් Michael චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවයි

පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ අපූරු සිනමාපටයක් මේ දිනවල ලොව පුරා ප්‍රේක්ෂකයන් ආකර්ශණය කරගනිමින් අති සාර්ථක ලෙස ප්‍රදර්ශණය වෙමින් තිබෙනවා. මෙම චිත්‍රපටයේ නම Michael. එය ප්‍රදර්ශණය ආරම්භ කළේ පසුගිය 24 වැනි දින යි.

ප්‍රදර්ශණය ආරම්භ කර දින දෙක තුනක් ගත වෙද්දීම Michael ආදායම් වාර්තා පිහිටුවන්නට සමත් වුණා. මුලින්ම වාර්තාවක් පිහිටුවූයේ ආරම්භක සති අන්තයේ වැඩිම ආදායම් ඉපැයූ ජීවිත කතා චිත්‍රපටය හැටියටයි. මුල් දින තුන තුළ පමණක් එය ඇමරිකානු ඩොලර් මිලියන 218 ක (ලංකා රුපියල් බිලියන 70 ක) පමණ ආදායමක් උපයා තිබුණා. මේ අනුව Michael මෙයට කලින් Oppenheimer චිත්‍රපටය පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙලන්නට සමත් වුණා.

Oppenheimer සිනමාපටයට පසුබිම් වුණේ රොබට් ඔපන්හයිමර් නැමැති විද්‍යාඥයාගේ ජීවිත කතාව යි. දෙවැනි ලෝක යුද්ධය සමයේ ඇමරිකාව ජපානයට හෙළූ ලොව පළමු පරමාණු බෝම්බය නිපදවීමේ මෙහෙයුමේ ප්‍රධාන විද්‍යාඥයා වූයේ ඔහු යි. එම සිනමාපටය පළමු සති අන්තයේ ඉපැයූ ආදායම ඇ. ඩොලර් මිලියන 180 යි.

Oppenheimer සිනමාපටයට පසුබිම් වුණේ රොබට් ඔපන්හයිමර් නැමැති විද්‍යාඥයාගේ ජීවිත කතාව යි. දෙවැනි ලෝක යුද්ධය සමයේ ඇමරිකාව ජපානයට හෙළූ ලොව පළමු පරමාණු බෝම්බය නිපදවීමේ මෙහෙයුමේ ප්‍රධාන විද්‍යාඥයා වූයේ ඔහු යි. එම සිනමාපටය පළමු සති අන්තයේ ඉපැයූ ආදායම ඇ. ඩොලර් මිලියන 180 යි.

Michael චිත්‍රපටයේ එක් විශේෂත්වයක් වනුයේ එහි මයිකල් ජැක්සන්ගේ චරිතය නිරූපනය කරන්නේ ජැක්සන් පවුලේම කෙනෙකු වීම යි. ඔහුගේ නම ජාෆර් ජැක්සන්. ඔහු මයිකල් ගේ වැඩිමල් සහෝදරයකු වන ජර්මේන් ජැක්සන්ගේ පුත්‍රයා යි. 29 වැනි වියේ පසුවන ජාෆර් ද ගායකයකු සහ නර්තන ශිල්පියෙකු ලෙස නමක් දිනා සිටිනවා.

සිය බාප්පාගේ චරිතය නිරූපනය කිරීම සඳහා ජාෆර් අවුරුදු 2 කට වැඩි කාලයක් දැඩි පුහුණුවීම්වල නිරත වී තිබුණා. විශේෂයෙන් මයිකල් ගේ නර්තන විලාසයන් නිරුපනය කිරීමට තමාට මහත් කැප වීමෙන් පුහුණුවීම් කරන්නට සිදු වූ බව ජාෆර් සඳහන් කර තිබෙනවා. සමහර අවස්ථාවල යටි පතුල්වලින් ලේ ගලන තුරු සහ හිරි වැටෙන තුරු තමා පුහුණුවීම්වල නිරත වූ බව ජාෆර් පවසනවා.

මයිකල්ගේ චරිතය රඟපෑම සඳහා ජාෆර් තෝරාගැනීමට පෙර ඒ සඳහා නළුවකු සොයමින් නිශ්පාදක කණ්ඩායම ලොව පුරා මෙහෙයුමක් දියත් කර තිබුණා. නමුත් අවසානයේ ඒ සඳහා තෝරාගැනුණේ ජාෆර්ව යි.

එම තෝරා ගැනීම සියයට සියයක්ම නිවැරදි බව මේ වනවිට ඔහුගේ රංගනය ගැන ලැබෙන ප්‍රතිචාරවලින් පෙනී යනවා. චිත්‍රපටය ගැන එතරම් ප්‍රසාදයෙන් කතා නොකරන විචාරකයන් පවා ජාෆර්ගේ රඟපෑම මහත් ඉහළින් වර්ණනා කරනු දැකගත හැකියි.

දක්ෂ අධ්‍යක්ෂවරයකු වන ඇන්ටොයින් ෆුක්වා විසින් අධ්‍යක්ෂණය කරන ලද Michael චිත්‍රපටයේ අඩංගු වන්නේ මයිකල්ගේ ජීවිතයේ මුල් කාලයට අදාල කාරණා පමණයි. 1966 සිට 1988 දක්වා කාලය ඒ තුළින් ආවරණය කෙරෙනවා.

ඇමරිකාවේ ඉන්ඩියානා ප්‍රාන්තයේ ගැරී නැමැති ප්‍රදේශයේ දී මයිකල් උපත ලැබුවේ 1958 වසරේ යි. චිත්‍රපටයේ කතාව පටන් ගන්නේ ඔහුට අවුරුදු 8 ක් පමණ වන කාලයෙනු යි.

මයිකල් එතරම් වත්පොහොසත්කම්වලින් යුතු පවුලක උපන් කෙනෙකු නොවෙයි. ඔහුගේ පියා ජෝ ජැක්සන් කම්කරුවෙක්. වානේ කර්මාන්ත ශාලාවක දොඹකර ක්‍රියාකරවන්නකු හැටියටයි ජෝ රැකියාව කළේ. මයිකල්ට සහෝදර සහෝදරියන් 8 දෙනෙකු සිටියා. ඒ කියන්නේ එය ලොකු පවුලක්. මයිකල් කුඩා කාලයේ මේ ලොකු පවුල ජීවත් වී තිබුණේ කාමර දෙකකින් යුතු ඉතා කුඩා නිවසක යි.

මයිකල් ජැක්සන්

ජෝ ජැක්සන්ට සහ ඔහුගේ බිරිඳ කැතරීන්ට දරුවන් 10 දෙනෙකු ලැබුණත් එක් දරුවෙක් ඉපදී ටික වේලාවකින් මියගොස් තිබුණා.

සංගීතයට ලැදි කෙනෙකු වූ මයිකල්ගේ පියා සිය දරුවන් සම්බන්ධ කරගෙන සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. එහි මුල් නම වූයේ Jackson Brothers. මෙහි පුහුණුවීම් කරද්දී තම පියා දැඩි දඬුවම් දෙමින් තමා කායික මානසික වශයෙන් අපයෝජනයට ලක් කළ බවක් මයිකල් පවසා තිබෙනවා. පුහුණුවීම් කරද්දී පියා බඳ පටියක් ද අතැතිව වාඩි වී බලා සිටි බවත්, වරදක් කළ සැණින් බඳ පටියෙන් පහර දුන් බවත් මයිකල් පැවසුවා. මේ බව ජෝ ජැක්සන් ද වරක් පිලිගෙන තිබුණා. කෙසේ වෙතත් මයිකල්ගේ සහෝදරයන් පවසා තිබුණේ තම පියා විසින් ඇති කරන ලද විනය ජීවිතයට බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව යි.

මයිකල් ගේ මේ ළමා කාලයට අදාල කාරණාත් Michael චිත්‍රපටයට ඇතුළත් වෙනවා.

පසු කාලයේ ඔහු නිර්මාණය කළ Thriller, Bad, Dangerous වැනි ගීත ඇල්බම අතිශයින් ජනප්‍රිය වූ අතර සංගීත ඉතිහාසයේ වැඩිම අලෙවියක් වාර්තා කළ ඇල්බමය Thriller ඇල්බමය යි. එහි පිටපත් මිලියන 70 ක් පමණ අලෙවි වී ඇති බව සඳහන්.

අති දක්ෂ සංගීත සහ නර්තන ශිල්පියෙකු වුවත් මයිකල් ඔහුගේ ජීවිතය තුළ බොහෝ ආන්දෝලනයන්ටත් මුහුණ දුන්නා. ඔහු කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක් කළ බවටත් චෝදනා එල්ල වුණා. මේ සම්බන්ධයෙන් නඩු විභාග පවා පැවැත්වුණා. නමුත් මයිකල් එකී චෝදනාවලට වරදකරු ලෙස තීන්දු කෙරුණේ නැහැ. ඔහුගේ මරණයෙන් පසුව පවා මෙවැනි චෝදනා එල්ල වූ බව සඳහන් කළ යුතුයි.

ජාෆර් ජැක්සන්

නවසිය අනූව දශකයේ ඇරඹි මයිකල් ගේ ජීවිතයේ මෙම ආන්දෝලනාත්මක කාල පරිච්ඡේදය Michael චිත්‍රපටයට ඇතුළත් වන්නේ නැහැ. මේ ගැන බොහෝ පාර්ශ්වවල අප්‍රසාදය පළ වනු දැක ගන්නට ලැබුණා. මයිකල් ගේ දියණිය වන පැරිස් ජැක්සන් මෙම චිත්‍රපටයේ තිරනාටකයක් කියවීමෙන් පසු පවසා තිබුණේ මෙය සීනි තැවරූ සහ අවංක නොවන කතාවක් බව යි.

කෙසේ හෝ වේවා, නවසිය අනූව දශකයේ ඇරඹි මයිකල් ගේ ජීවිතයේ මෙම ආන්දෝලනාත්මක කාල පරිච්ඡේදය Michael චිත්‍රපටයට ඇතුළත් වන්නේ නැහැ. මේ ගැන බොහෝ පාර්ශ්වවල අප්‍රසාදය පළ වනු දැක ගන්නට ලැබුණා. මයිකල් ගේ දියණිය වන පැරිස් ජැක්සන් මෙම චිත්‍රපටයේ තිරනාටකයක් කියවීමෙන් පසු පවසා තිබුණේ මෙය සීනි තැවරූ සහ අවංක නොවන කතාවක් බව යි.

ඉහත කී සිදුවීම් චිත්‍රපටයට ඇතුළත් කිරීමට මුලින් අදහසක් තිබුණත් පසුව එම අදහස වෙනස් කර තිබූ බව පැවසෙනවා. මෙකී සිදුවීම්වලට අදාල නීතිමය තත්වයන් ඊට හේතු වූ බවටත් තොරතුරු ඉදිරිපත්ව තිබුණා.

විචාරකයන් චිත්‍රපටය ගැන යම් විවේචන එල්ල කර තිබුණත් සාමාන්‍ය ප්‍රේක්ෂකයන් චිත්‍රපටයට කැමැත්තක් දක්වන බවයි පෙනෙන්නේ.

කෙසේ හෝ වේවා, Michael චිත්‍රපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමට නිශ්පාදකයන් කටයුතු කරමින් සිටින බවටත් මේ වනවිට ආරංචි පළ වෙනවා. ඔහුගේ ජීවිතයේ දෙවැනි භාගයට අදාල සිදුවීම් ඊට ඇතුළත් වනු ඇති බවයි පැවසෙන්නේ.

නිහාල් පීරිස්

රසගඟුල