
වැවිලි සමාගම් විසින් විවිධ ප්රතිලාභ පොරොන්දු වෙමින් මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නැවතත් අවධාරණය කර තිබේ. පසුගියදා මුදල් ප්‍රතිපත්ති විග්‍රහය ඉදිරිපත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කොට තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ මෙවැනි තැන්පතු ලබාගැනීමේ ක්‍රමවේද සඳහා මහ බැංකුවේ කිසිදු අවසරයක් හෝ අනුමැතියක් හිමිව නොමැති බවයි. “ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට අනුව යම් ආයතනයකට මහජනතාවගෙන් තැන්පතු භාර ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් බලයලත් මූල්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි වීම අනිවාර්යයි. එසේ නොවන ඕනෑම ආකාරයක තැන්පතු ලබාගැනීමක් දණ්ඩනීය වරදක්.” යනුවෙන් පවසා ඇති ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙම ව්‍යාපාරික ආකෘතීන් නීති විරෝධී ලෙස සලකන බැවින්, එවැනි අවදානම් සහගත ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
දැනටමත් එවැනි යෝජනා ක්‍රමවල මුදල් තැන්පත් කර ඇති පිරිස් වෙත උපදෙස් ලබා දෙමින් අධිපතිවරයා පවසා සිටියේ, එම මුදල් වහාම නැවත ලබාගැනීමට කටයුතු කරන ලෙසයි. යම් හෙයකින් එම මුදල් ආපසු ලබාගැනීමට බාධා මතු වන්නේ නම්, ඒ පිළිබඳව වහාම පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසද දැනුම් දී ඇති ඔහු, එවැනි කිසිදු ආයතනයක් පිළිගැනීමට හෝ අනුමත කිරීමට මහ බැංකුව සතුව කිසිදු යාන්ත්‍රණයක් නොමැති බවද වැඩිදුරටත් අවධාරණය කොට ඇත. ඒ අනුව ඔහු පවසා ඇත්තේ මෙබඳු මූල්‍ය ක්‍රම පිරමීඩ් ලෙස ප්‍රකට පොන්සි මූල්‍ය ක්‍රම බවයි.

පොන්සි මූල්‍ය ක්‍රමයක් යනු සැබෑ ව්‍යාපාරික ලාභයකින් තොරව, අලුතින් එකතු වන ආයෝජකයන්ගේ මුදල් යොදාගෙන පැරණි ආයෝජකයන්ට පොරොන්දු වූ ඉහළ පොලිය හෝ ප්රතිලාභ ගෙවන වංචනික ආයෝජන ක්රමයකි.
ආර්ථික විද්‍යාඥ හයිමන් මින්ස්කි (Hyman Minsky) ගේ මූල්‍ය අස්ථාවරත්ව උපකල්පනයට අනුව, ආයතනයකට හෝ පුද්ගලයෙකුට තමන් ලබාගත් ණය සහ ණය පොලිය පියවීමට දිගින් දිගටම අලුතින් ණය ගැනීමට සිදුවන අතිශය අවදානම් සහගත මූල්‍ය තත්ත්වය ද “පොන්සි ෆිනෑන්ස්” (Ponzi Finance) ලෙස හැඳින්වේ. වෙළඳපොළ උච්චාවචනයන් නොතකා, ඉතා කෙටි කලකින් කිසිදු අවදානමකින් තොරව ස්ථාවරව ඉහළ ලාභ ලබාදෙන බව පොන්සි කරුවෝ පවසති.
එමෙන්ම මුදල් ආයෝජනය කරන්නේ කුමන ක්ෂේත්රයකද හෝ ලාභ උපයන සැබෑ ක්‍රමවේදය කුමක්ද යන්න රහසිගතව තබා ගනිති. බොහෝ විට මෙවැනි ආයතන හෝ පුද්ගලයන් ශ්‍රී ලංකා මහ බැංකුව වැනි කිසිදු පිළිගත් මූල්‍ය නියාමන අධිකාරියක ලියාපදිංචි වී නොමැත.

නමුදු මෙම පද්ධතිය දිගටම පවත්වාගෙන යාමට නම් අලුතින්ම මුදල් ආයෝජනය කරන පිරිසක් අඛණ්ඩව පැමිණිය යුතු ය. ඒ අනුව මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නව ආයෝජකයන්ගෙන් මුදල් ගලා එන තාක් පමණි. අලුතින් එකතු වන සාමාජිකයන් ප්‍රමාණය අඩු වූ විට හෝ එකවර විශාල පිරිසක් තමන්ගේ මුදල් නැවත ඉල්ලා සිටි විට, මුදල් ගෙවීමට නොහැකිව මුළු පද්ධතියම ක්ෂණිකව බිඳ වැටේ. අවසානයේදී මෙම පොන්සි නිර්මාණකරුවන් මුදල් ද රැගෙන අතුරුදන් වන අතර අවසන් කාලයේදී එකතු වූ බහුතරයකට තමන්ගේ මූලික ප්රාග්ධනය පවා අහිමි වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා නඟන මෙම චෝදනාව වැවිලි සමාගම් පාර්ශ්වයෙන් දැඩි ලෙස ප්‍රතික්ෂේප වන බවක් පෙනේ. ඔවුන්ගේ ස්ථාවරය වන්නේ, ඔවුන් සිදු කරන්නේ සාම්ප්‍රදායික තැන්පතු ලබාගැනීමක් නොව, නවීන තාක්ෂණය මත පදනම් වූ නැවුම් ආයෝජන ආකෘතියක් හඳුන්වා දීම බවකි. එම සමාගම් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනුයේ ශ්‍රී ලංකාවට හුරු සාම්ප්‍රදායික කෘෂි රටාවන්ගෙන් බැහැරව, අති නවීන ස්මාර්ට් ෆාමින් (Smart Farming) හෙවත් සුහුරු කෘෂිකර්මය හරහා සාම්ප්‍රදායික කෘෂිකර්මයෙන් ලැබිය හැකි ආදායම මෙන් කිහිප ගුණයක ආදායමක් උපයා ගත හැකි බවයි. සාම්ප්‍රදායික කෘෂිකර්මයේ පවතින කාලගුණික, වන සත්ව, පළිබෝධක හා වෙළෙඳපොළ අවදානම සුහුරු කෘෂිකර්මය තුළ ඉතා අඩු මට්ටමක පවතින බැවින්, සාම්ප්‍රදායික ආයෝජනවලට වඩා වැඩි ලාභාංශයක් ආයෝජකයාට ලබාදිය හැකි බව ඔවුහු පවසති.
එබැවින් තම නව ව්‍යාපාර ආකෘතිය ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා හඳුන්වා දී ඇති අන්දමට පොන්සි හෙවත් පිරමීඩ් ආයෝජන ලෙස හඳුන්වනු ලැබීම බරපතළ වරදක් බව එම සමාගම් අවධාරණය කරයි.

පාර්ශ්ව දෙකකින් මෙවන් පරස්පර අදහස් දෙකක් මතුවන තත්ත්වයක් තුළ පැන නඟින ප්‍රධානතම ප්රශ්නය වන්නේ මෙම සමාගම්වල සැබෑ මූල්‍ය ක්‍රියාකාරිත්වය කුමක්ද යන්නයි. ඔවුන් පවසන පරිදි අධි-තාක්ෂණික කෘෂිකර්මයෙන් සැබවින්ම අධික ලාභයක් උපයන්නේ නම් සහ එම ලාභයෙන් කොටසක් ආයෝජකයාට ලබා දෙන්නේ නම්, එය සාමාන්‍ය ව්‍යාපාර ආයෝජනයකි. නමුත් පැරණි ආයෝජකයන්ට පොලී ගෙවීම සඳහා නව ආයෝජකයන්ගේ මුදල් යොදා ගන්නේ නම් එය පොන්සි ආකෘතියක ලක්ෂණයකි. එබැවින් මෙම ප්රකාශයන්හි සත්‍යාසත්‍යතාවය ප්‍රායෝගිකව විමසා බැලීම බලධාරීන්ගේ වගකීමකි. ඒ සඳහා අදාළ සමාගම්වල ගිණුම් වාර්තා, විගණන වාර්තා, බදු වාර්තා සහ සැබෑ වගා බිම්වල භෞතික පැවැත්ම පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. එම විගණනය විනිවිදභාවයෙන් සිදු කළහොත්, නීත්‍යානුකූලව ව්‍යාපාර කරන ආයතන ආරක්ෂා වන අතරම, ඔවුන්ගෙන් ජාතික බදු ආදායම ශක්තිමත් කර ගැනීමට සේම ජනතාවගේ මුදල් අවදානමට ලක් කරන පොන්සි ජාවාරම්කරුවන් පහසුවෙන් නීතිය හමුවට ගෙන ඒමට ද හැකිවනු ඇත.
මෙය වඩාත් පැහැදිලිව කිව හොත් වැවිලි සමාගම් විසින් විවිධ ප්රතිලාභ පොරොන්දු වෙමින් මහජනතාවගෙන් තැන්පතු ඉල්ලා සිටීම ශ්‍රී ලංකා මහ බැංකු පාර්ශ්වයට අනුව කිඹුලන් බහුල ගැඹුරු දියකට බැසීමකි. එහෙත් වැවිලි සමාගම් පවසන අන්දමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ එම ප්‍රකාශය තේ කෝප්පයක කිඹුලන් දැකීමකි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව හා වැවිලි සමාගම් අතර පවතින මෙම කඹ ඇදීම හමුවේ අතීරණාත්මකව වෙසෙන මහජනතාවට තම වැවිලි ව්‍යාපෘතීන් සම්බන්ධ පාරදෘශ්යතාවයෙන් යුතු කරුණු ඉදිරිපත් කිරීම වැවිලි සමාගම්වල කාර්ය භාරයකි. එමෙන්ම එසේ වැවිලි සමාගම් මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම වැවිලි සමාගම් අටවන මර උගුලක් නම් ඔවුන් ඉන් මුදා ගැනීම ශ්‍රී ලංකා පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්ය භාරයක් නොවන්නේ ද?
ෆාතිමා හලල්දීන්