
මිනිසුන් අතුරින් සීමිත කොටසකට තමන්ගේ මරණය සම්බන්ධයෙන් කලින් දැනගත හැකි පූර්ව සංජානනයක් (Precognition) පවතින බවට වන ජන විශ්වාසය ලොව පුරා ඈත අතීතයේ සිටම මුල් බැස තිබේ. මෙවැනි විශ්වාසයන් සමාජගත වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ, අනපේක්ෂිත ලෙස අකල් මරණවලට ගොදුරු වූ පුද්ගලයන් තමන් මියයාමට ආසන්න කාලසීමාවේදී සිය ළඟම හිතවතුන් හෝ නෑදෑයන් සමඟ මරණය පිළිබඳ යම් යම් සියුම් ඉඟි පළ කර තිබීමය. නිදසුනක් ලෙස, මිතුරන් කණ්ඩායමක් කිසියම් ඉදිරි සැලසුමක් හෝ උත්සවයක් සංවිධානය කරමින් සිටින විට, ඉන් එක් අයෙකු “ඔය දවස වෙනකොට නම් ඉතින් මට එන්න වෙන්නේ වෙන ලෝකෙක ඉඳලා තමයි” වැනි අසාමාන්‍ය ප්‍රකාශයක් කළේ යැයි සිතමු. ඉන් පසු දිනෙක සැබවින්ම ඔහු මියගියහොත් ඔහුගේ එම ප්‍රකාශය මහා ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්වේ. ඔහුගේ අවමඟුලට පැමිණෙන බොහෝ දෙනෙක් එම ප්‍රකාශයේ ඇති “වෙන ලෝකය” යන්න පරලොව සේ පහසුවෙන් අර්ථ ගන්වමින්, ඔහුට තම මරණය කලින්ම පෙනී තිබූ බව පවසන්නට පෙළඹෙති.
බහුතරයකගේ මතය වන්නේ මෙය එම තැනැත්තාගේ උපවිඥානයෙන් (Subconscious Mind) මතු වන සිතුවිල්ලක් හෝ විද්‍යාත්මකව අනාවරණය වී නොමැති සයවැනි ඉන්ද්රියයේ (Sixth Sense) ක්රියාකාරීත්වයක් බවකි. අපේ රටේ සංස්කෘතිය තුළ ද “මාව මතක් වෙන්න මේවා තියාගන්න”, “දැන් ඉතින් මට මේවායින් වැඩක් නෑනේ. මොකද මම යනකොට ගෙනියන්නද?” වැනි ප්‍රකාශ කිරීම් මෙන්ම, මියයාමට පෙර හදිසියේම ඥාතීන් සොයා යාම සහ දිගු කලක් අමතක වී සිටි මිතුරන් ඇමතීම වැනි හැසිරීම් අකල් මරණයක පූර්ව ලක්ෂණ ලෙස ජනයා තදින්ම විශ්වාස කරති.
ලොව ඉතිහාසය දෙස බැලූ විට ද මෙලෙස තමන්ගේ මරණය සම්බන්ධයෙන් කල් ඇතිව නිවැරදි අනාවැකි පළ කළ සුප්‍රකට පුද්ගලයන් පිළිබඳ ඓතිහාසික සාක්ෂි රැසක් දකින්නට ලැබේ. ඇමරිකාවේ 16 වැනි ජනාධිපති ඇබ්‍රහම් ලින්කන් ඝාතනය වීමට දින කිහිපයකට පෙර තමන් දුටු අද්භූත සිහිනයක් තම මිතුරෙකු වූ වෝඩ් හිල් ලැමොන්ට පවසා තිබුණි. එහිදී ඔහු දැක තිබුණේ ධවල මන්දිරයේ ඊස්ට් රූම් (East Room) හෙවත් නැගෙනහිර ශාලාවේ තිබූ මිනී පෙට්ටියක් වටා මිනිසුන් හඬමින් සිටින අයුරුත්, එහි සිටි ආරක්ෂක භටයෙකුගෙන් විමසූ විට “ඝාතකයෙකු අතින් ජනාධිපතිවරයා මියගිය” බව පැවසූ අයුරුත් ය. පුදුමයකට මෙන්, එම සිහිනය දැක දින 10කට පසු, එනම් 1865 අප්‍රේල් 14 වන දින ඔහු ෆෝර්ඩ්ස් තියටර් (Ford’s Theatre) රඟහලේදී වෙඩි තබා ඝාතනය කෙරුණි. එහෙත් මෙම සිදුවීමේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු පවතී.

එසේම, ලෝක පූජිත ලේඛක මාක් ට්වේන් (Mark Twain) උපත ලැබුවේ 1835 හැලීස් කොමට් (Halley’s Comet) හෙවත් හැලීගේ වල්ගා තරුව පෘථිවියට දර්ශනය වූ වසරේදී වන අතර, ඔහු 1909 දී වරක් “මම හැලීගේ වල්ගා තරුව සමඟ ආවෙමි, ලබන වසරේ එය නැවත පැමිණෙන විට මම එය සමඟම යන්නෙමි” යි ප්‍රකාශ කළ බවක් පැවසෙයි. සැබවින්ම 1910 අප්‍රේල් 20 වැනිදා හැලීගේ වල්ගා තරුව නැවත පෙනී සිටි දිනට පසු දිනම, එනම් අප්‍රේල් 21 දා ඔහු මෙලොව හැර ගියේය. තවත් අතකින්, ලෝක ප්‍රකට ‘ද බීට්ල්ස්’ (The Beatles) සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන් ඝාතනය වීමට පැය කිහිපයකට පෙර, 1980 දෙසැම්බර් 8 වන දින පැවති ආර්.කේ.ඕ. රේඩියෝ (RKO Radio) සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ මින් ඉදිරියට සිය ජීවිතය ඉතා නිහඬව ගත කිරීමට බලාපොරොත්තු වන බවයි. ඔහුගේ අවසන් ඇල්බමයේ වූ “හාර්ඩ් ටයිම්ස් ආ ඕවර්” (Hard Times Are Over) හෙවත් “දුෂ්කර කාලය නිමයි” යන ගීතය ද ඔහුගේ රසිකයන් අදටත් දකින්නේ මරණය පිළිබඳව ඔහුට දැනී තිබූ පූර්ව සංඥාවක් ලෙසිනි. නමුත් ඉහත ප්‍රකාශ වූ මරණ අනාවැකිවල සත්‍යතාව මෙන්ම ඒවා අහඹු සිදුවීම් (Coincidence) වීමට ඇති අවකාශය සම්බන්ධයෙන් ද විවිධ මත පළ වී තිබේ. ඊට හේතුව තමන්ගේ මරණය සම්බන්ධයෙන් කලින් දැනගත හැකි පූර්ව සංජානනය තහවුරු කිරීමට එබඳු අහඹු සාක්ෂි ප්‍රමාණවත් නොවීම ය.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය පිටුපස ජීව විද්‍යාත්මක මෙන්ම විද්‍යාත්මක හේතු සාධක ගණනාවක් පවතින බව නූතන විද්‍යාව පෙන්වා දෙයි. මෙහිදී මරණය පිළිබඳ පූර්ව සංජානනය යනු කිසියම් අසාධ්‍ය රෝග තත්ත්වයකින් පසුවන්නකු හට තම මරණය සම්බන්ධයෙන් ඇති වන අනුමානය හෝ අනතුරක් වැනි හදිසි ජීවිතාවදානමක් හමුවේ ක්ෂණිකව ඇති වන මරණ සංවේදීතාව නොවේ. එමෙන්ම උග්‍ර විෂාදය (Severe Depression) වැනි තත්ත්වයන් තුළ ඇති වන ජීවිතාශාව බරපතල ලෙස පහළ බැසීම නිසා ශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්ති ක්‍රියාවලියට (Immune System) හා පරිවෘත්තීය ක්‍රියාවලියට (Metabolism) නිරතුරුවම බාධා පැමිණීම මත සිදුවන දිවි පැවැත්ම අඩාල වීම ද මීට සම්බන්ධ නැත.

මේ පිළිබඳ සැබෑ විද්‍යාත්මක පැහැදිලි කිරීම නම් මිනිස් සිරුර තුළ සිදුවන ඇතැම් සියුම් ජීව විද්‍යාත්මක වෙනස්කම්; නිදසුනක් ලෙස හෘදයාබාධයක් හෝ මොළයේ රුධිර කැටියක් (Blood Clot) ඇති වීමට පෙර සිදුවන අභ්‍යන්තර අපහසුතාවන් – උපවිඥානයට තදින්ම දැනිය හැකි බවයි. මෙය මිනිසා තුළ සහජයෙන්ම පවතින බව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (Sigmund Freud) විසින් හඳුන්වා දුන් “තනටෝස්” (Thanatos) හෙවත් මරණාශය නමැති මනෝවිද්‍යාත්මක තත්ත්වය සමඟ එක් ව, “මගේ ඇඟට මොකක්දෝ වෙන්න යනවා” වැනි විනාශයකට පෙර ඇති වන නොපැහැදිලි හැඟීමක් (Vague Sense of Doom) මතු කළ හැකිය.

එමෙන්ම නූතන මනෝවිද්‍යාව පෙන්වා දෙන්නේ මෙය කිසිසේත්ම ගුප්ත ස්වරූපයේ පූර්ව දිවැස් දැකීමක් නොව, මනස විසින් නිර්මාණය කරන මායාත්මක උපකල්පනයක් බවයි. සම්භාවිතා නීතිය (Theory of Probability) අනුව, දහස් සංඛ්‍යාත මිනිසුන් කරන මෙවැනි ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක් පමණක් වන අතර, එය නිසැක ලෙසම අහඹු සිදුවීමක් (Coincidence) මිස පූර්ව දිවැස් දැකීමක් නොවේ. ඒ සම්බන්ධ සංඛ්‍යාත්මක අනාවරණයන්ට අනුව සාමාන්‍ය මිනිසෙකු දිනකට වචන 16,000ක් පමණ කතා කරන අතර, ඉන් කිසියම් වචනයක් මරණයට ගැළපීම සාමාන්‍ය ස්වභාවයකි.

මෙය මනෝ විද්‍යාවේදී සිදුවීමකින් පසු ඒ දෙස බලා තමන්ට රිසි සේ අර්ථකථනය කිරීමේ මානසික ක්‍රියාවලිය (Retrospective Interpretation) ලෙස හඳුන්වනු ලැබේ. පසු සිදුවීමක් හා පෙර සිදුවීමක අතාර්කික සබැඳියාවක් ඇතැයි යන මිථ්‍යා මතය (Post hoc ergo propter hoc) මේ හා බැඳී තිබේ. යමෙකු මියගිය පසු, අපගේ මොළය ඔහු පැවසූ අනෙකුත් සියලු සාමාන්‍ය දෑ අමතක කර, මරණයට ගැළපෙන ප්‍රකාශය පමණක් මතකයේ රඳවාගෙන එය විශාල කර පෙන්වයි. එමෙන්ම මෙය ‘ලිපිගොනු-ලාච්චු සාධකය’ (File-drawer Problem) ලෙස ද හඳුන්වන අතර, එහි අදහස වන්නේ අනාවැකියක් සත්‍ය වුවහොත් පමණක් එය සමාජය තුළ මහ ඉහළින් කතාබහට ලක් කර ප්‍රසිද්ධ කරන අතර, එය අසත්‍ය හෝ නිෂ්ඵල වුවහොත් කිසිවෙකුටත් මතක නැති වන සේ ලාච්චුවකට දමා වසා දමන්නාක් මෙන් අමතක කර දැමීමයි. එබැවින් මරණය පිළිබඳ පූර්ව සංජානනය යනු අද්භූත බලවේගයක් නොව, මතකයේ, සම්භාවිතාවේ සහ මිනිස් හැඟීම්වල එකතුවෙන් නිර්මිත සංස්කෘතික ප්රපංචයක් පමණක් බව කිව යුතුය.
තිලක් සේනාසිංහ