මේ දවස් වල පවතින ඉන්ධන අර්බුදය මුල් කොට පැන නැඟී ඇති අපහසුතා අතරින් ප්‍රවාහන අපහසුව මුල් තැනක් ගන්නවා.ඒ එක්කම කාගේත් අවධානය යොමු වුණේ ඉන්ධන භාවිතයකින් තොරව ධාවනය කළ හැකි බයිසිකලය වෙතට.නමුත් අපේ රටේ ජනතාවට නුහුරු වුණත් ඒ සයිකලයේම විකාශනයක් වුණු සයිකල් රික්ෂෝව කුලී මඟී වාහනයක් ලෙස ලෝකයේ රටවල් ගණනාවකම යොදා ගන්නවා.මිනිසුන් ඇදගෙන යන රික්ෂෝ කරත්තයේම විකාශනයක් වන නිසා මෙය හැඳින්වෙන්නේ සයිකල් රික්ෂෝව නමින්.
පළමු වරට බංග්ලා දේශයේ 1880 ගණන්වලගෘහස්ථ මට්ටමින් මේවා තැනුණු අතර ඒවා ප්‍රථම වරට සිංගප්පූරුවේ 1929 දී බහුලව භාවිතා වී තිබෙනවා.වසර හයකට පසු සයිකල් රික්ෂෝව මිනිසුන් ඇදගෙන ගිය රික්ෂෝ සංඛ්‍යාව ඉක්මවා ගියා. 1950 වන විට සයිකල් රික්ෂෝ සෑම දකුණු හා නැඟෙනහිර ආසියාතික රටකම දක්නට ලැබුණු අතර. 1980 ගණන්වල අග භාගය වන විට ලොව පුරා සයිකල් රික්ෂෝ මිලියන 4ක් ඇතැයි ගණන් බලා තිබෙනවා.මේ වාහනය සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක්, නමුත් සමහර හතරැස් බයිසිකල් මාදිලිත් පවතින අතර, ට්‍රේලර් සහිත සමහර බයිසිකල් සයිකල් රික්ෂෝ ලෙස භාවිතා කරනවා.වතමානයේ අපේ රටේ පවා අතිශය ජනප්‍රිය ත්‍රිරෝද රථය මේ සයිකල් රික්ෂෝවේම පරිනාමයක්.
බංග්ලා දේශය, ඉන්දියාව චීනය ඉන්දුනීසියාව, මැලේසියාව, කාම්බෝජය . පිලිපීනය,සිංගප්පූරුව මේ සයීකල් රික්ෂෝව භාවිතයට ගන්නා රටවල් අතරින් කීපයක්.බංග්ලාදේශයේ ඩකා නුවරට පැමිණෙන කෙනෙකුට සුලභව දකින්න ලැබෙන දෙයක් තිබෙනවා. එය නම් පහසුවෙන් ගමන් බිමන් යෑමට යොදාගන්නා රික්ෂෝ සයිකලයයි. මිනිසුන් හා බඩු පටවාගෙන යන රික්ෂෝ සයිකල් කොතරම් ප්‍රමාණයක් එහි තිබෙනවාද කියනවා නම් එය ජන පිරිසට දෙවෙනි වන්නේ නැහැ.ලියාපදිංචි කළ සයිකල් රික්ෂෝ 80,000ක් පමණ ඩකා නුවර තිබෙනවා. නමුත් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මහ මාර්ගයේ ගමනාගමනේ යෙදෙන බව බොහෝදෙනාගේ විශ්වාසයයි.
ලෝකයේ සයිකල් රික්ෂෝ වල රාජධානිය ලෙස ඩකා නුවරට නම් පටබැඳී තිබෙන්නේ ඒ නිසයි. බංග්ලා දේශ වැසියන් කියන විදිහට ඩකා නුවර මුල්ම සයිකල් රික්ෂෝව භාවිතයට ගැනුණේ 1930 ගණන්වල අගභාගයේදීයි. වාහන තදබදයෙන් පිරුණු මාර්ග දිගේ පවා මඟීන්ව මෙන්ම බඩු තොග රැගෙන මෙම පැදගෙන යා හැකියි.නමුත් ඩකා නුවර මේ සයිකල් රික්ෂෝ සංඛ්‍යාව ඉහල යාමත් සමඟ එරට රථවාහන වල ගමන් වේගය අඩු වීම මුල් කොට අද වන විට ඩකා නගරයේ සයිකල් රික්ෂෝ යම් පාලනයකට යටත් කොට තිබෙනවා.ඒ කොහොම වුණත් අපේ රටේ දැනට පවතින ඉන්ධනය හමුවේ මඟීන් දෙදෙනකුට පැයට කිලෝ මීටර් අටක දහයක වේගයෙන් ගමන් කළ හැකි මේ වාහනය අපේ රටේ තැනිතලා ප්‍රදේශවල හෝ භාවිතයට ගත නොහැකිද?යන්න පිළිබඳව සිතා බැලීමේ වරදක් වන එකක් නැහැ.
දමයන්ති ගමගේ