එළවළු ගොවීන් මුහුණ දී ඇති බරපතළ ගැටලුවලට පිළියම් සෙවීම සඳහා රජයෙන් කිහිප වතාවක්ම සාකච්ඡා ඉල්ලා සිටියද, සැබෑ ගොවීන්ට අවස්ථාව නොදී ජාතික ජන බලවේගයේ ශාඛා සමිති නියෝජිතයන් සමඟ පමණක් සාකච්ඡා කර ගන්නා තීරණ තමන් මත පැටවීමට කෘෂිකර්ම බලධාරීන් උත්සාහ කරන්නේ නම් ඊට කිසිසේත්ම එකඟ නොවන බව නුවරඑළිය ගොවි සංවිධානයේ සභාපති තරිඳු රත්නායක මහතා ප්‍රකාශ කළේය.කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු කෘෂිකර්ම බලධාරීන් සාමූහිකව විසඳාගත හැකි ගොවි ප්‍රශ්න වෙනුවෙන් සාකච්ඡා මඟහැර වීදි සටන් ඉල්ලා සිටින්නේ නම්, මුළු රටේම ගොවි ජනතාව ඒකරාශී කරමින් වීදි සටනකට වුවද සූදානම් බවත්, “එන්න හැප්පිලා බලමු” යැයි තමන් අමාත්‍යවරයාට අභියෝග කරන බවත් සභාපතිවරයා පැවසීය.නිෂ්පාදන වියදමටත් වඩා අඩු මුදලකට අස්වැන්න විකිණීමට සිදුවීම හේතුවෙන් ගොවියා පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ඊයේ (19) නුවරඑළියේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තරිඳු රත්නායක මහතා මෙසේද පැවසීය.”ගොවි ප්‍රශ්න ගැන කතා කරන්න අපි රජයෙන් සාකච්ඡා ඉල්ලුවාට අපිට ඒක ලැබෙන්නේ නැහැ. අපේ ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය මැති ඇමැතිවරු ගොවි ප්‍රශ්න විසඳන්න අපිට වීදි සටන්වලට එන්න කියලා වක්‍රව ආරාධනා කරනවා නම් අපි ඒකටත් ලෑස්තියි. ගාමිණී දිසානායක මහතාගෙන් පසුව ඉතිහාසගත ඡන්ද ප්‍රමාණයක් ලබා දී නුවරඑළියෙන් පාර්ලිමේන්තුවට යැවූ මංජුල සුරවීර සහ මධුර සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් අද ගොවි ගැටලු ගැන කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම්, ඔවුන්ට ඉදිරියේදී උත්තර දෙන්නත් අපිට සිද්ධ වෙනවා” .
කෙසේ වෙතත් ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරමින්, ගොවි ජනතාව රැකගැනීම වෙනුවෙන් කළ හැකි උපරිම ඕනෑම ක්‍රියාමාර්ගයකට තම ගොවි සංවිධානය පෙරමුණ ගන්නා බවද සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.