කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන අඩවි ආරක්ෂක නිලධාරී නීතිඥ චතුර ගුණරත්න මහතා ඇතුළු වන ජීවී නිලධාරීන් එක්ව ඊයේ (18) ගල්ගමුවේ ඇහැටුවැව ප්රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු වලාන දූෂණ මර්දන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ද මෙම මෙහෙයුමට සහාය වී තිබේ.අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකි. ඔහුගේ නිවසේ සඟවා තිබී බොර 12 වර්ගයේ ගිනි අවියක්, කැප් තුවක්කුවක් සහ උණ්ඩ 24ක් පොලිස් භාරයට ගෙන ඇත. විශේෂත්වය වන්නේ, මීට පෙර ‘ඩයනා’ නමින් හැඳින්වූ ඇතින්නක මොහු විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට වාර්තා වී තිබීමයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ අංශ මඟින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය. මේ අතර, කාවන්තිස්ස ඇතාට වෙඩි වැදී ඇති බව මුල් අවස්ථාවේදී තහවුරු කර ගැනීමට නිකවැරටිය වනජීවී පශු වෛද්ය කණ්ඩායම අසමත් වූ බවට ද චෝදනා එල්ල වී තිබේ. ඇතාට ප්රතිකාර කිරීමේදී සිදුවූ බව කියන දුර්වලතා සහ අතපසුවීම් සම්බන්ධයෙන් ද අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය නිසි ලෙස ක්රියාත්මක කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.