ගල් අඟුරු ආනයනයේදී කිසිදු වංචාවක් දූෂණයක් සිදුව නැහැ
ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලියේදී අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත හෝ වෙනත් කිසිදු පාර්ශවයක සම්බන්ධතාවයකින් වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බව රජය ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මේ දක්වා සිදු කරන ලද කිසිදු පරීක්ෂණයකින් අමාත්‍යවරයා එවැනි වංචාවකට සම්බන්ධ බව තහවුරු වී නොමැති බවයි. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් නිකුත් වූ විගණන වාර්තාවේ පවා අමාත්‍යවරයා දූෂණයක් සිදු කළ බවට සඳහන්ව නොමැති අතර, එහි දැක්වෙන්නේ ගල් අඟුරුවල ගුණාත්මකභාවයේ අඩුවක් හේතුවෙන් යම් පාඩුවක් සිදු වූ බව පමණක් යැයි විජිත හේරත් මහතා පැහැදිලි කළේය.
පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව තුළ පැය හයකට අධික කාලයක් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ ද කිසිදු වංචාවක් තහවුරු නොවූ බවත්, අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අවස්ථාවේදී පවා ඔහු සෘජුව මෙවැනි වංචාවකට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල නොවූ බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය රජයේ නිලධාරීන්ගෙන් සමන්විත ස්වාධීන ප්‍රසම්පාදන කමිටු සහ ජාතික ප්‍රසම්පාදන කොමිසමේ නිර්දේශ මත සිදුවන්නක් බවත්, අමාත්‍යවරයා සැපයුම්කාර සමාගම් සමඟ කිසිදු අයුතු ගනුදෙනුවක් පවත්වා නොමැති බවත් ඔහු මෙහිදී සහතික විය.
නොරොච්චෝල බලාගාරය ආරම්භ කළ දා සිට මේ දක්වා අවස්ථා 41 කදී ගල් අඟුරු ආනයනය කර ඇති අතර, පෙර රජයන් සමයේ විවිධ අක්‍රමිකතා සිදු වූ බව එවකට සිටි අමාත්‍යවරුන්ම පිළිගෙන තිබූ බව විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය. වර්තමාන රජය මේ පිළිබඳව උපරිම විනිවිදභාවයකින් කටයුතු කරන බවත්, අදාළ ලිපිලේඛන ආරක්ෂා කර ගැනීම සහ ජනතාවට නිවැරදි කරුණු තහවුරු කිරීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා දැනටමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.