ඇමැති කුමාර ජයකොඩි ඉල්ලා අස්වීම ගැන සුමන්තිරන්ගෙන් ප්‍රසාදය

ආනයනය කරන ලද ගල්අඟුරු තොගයක් ප්‍රමිතියෙන් තොර බවට පාලනාධිකාරිය විසින්ම පිළිගෙන තිබියදීත්, රජය සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාව අඛණ්ඩව ආරක්ෂා කිරීමට දැරූ උත්සාහය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, එහෙත් අවසානයේ ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් තමා ප්‍රසාදය පළ කරන බවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ සිය ‘X’ (ට්විටර්) ගිණුමේ විශේෂ සටහනක් තබමිනි.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් අලුතින් පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසම මගින් සිදුකෙරෙන විමර්ශන කටයුතුවලට බාධාවකින් තොරව සහාය දැක්වීම සඳහා කුමාර ජයකොඩි මහතා ඊයේ (17) සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. කෙසේ වෙතත්, මෙම ඉල්ලා අස්වීම සඳහා පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයෙන් ජනාධිපතිවරයා වෙත එල්ල වූ දැඩි පෙළඹවීම් සහ බලපෑම් හේතු වී ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්