
ලෝක ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වන අතර වගා කළ හැකි භූමි ප්‍රමාණය සහ ස්වාභාවික සම්පත් දිනෙන් දින සීමිත වෙමින් පවතියි. සංඛ්‍යාලේඛනවලට අනුව වර්තමානයේ ලෝකයේ වගාබිම් අක්කරයකින් පුද්ගලයන් එකසිය පනස් පස් දෙනෙකුට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කෙරෙන අතර, 2050 වසර වන විට එකී අක්කරයකින් පුද්ගලයන් දෙසිය පනස් පස් දෙනෙකුට ආහාර සපයා දීමේ දැවැන්ත අභියෝගයට ලෝකය මුහුණ දී සිටියි. මෙම අනාගත ආහාර අර්බුදයට සහ පාරිසරික විපර්යාසවලට සාර්ථකව මුහුණ දීම සඳහා ලොව දියුණු රටවල් රැසක් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සහ ස්වයංක්‍රීය තාක්ෂණය සිය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රධානතම මෙවලම බවට පත්කරගෙන තිබේ. කෘෂිකර්මාන්තය යනු තවදුරටත් හුදෙක් ශාරීරික වෙහෙස මහන්සිය මත පදනම් වූ සාම්ප්‍රදායික ක්‍රියාවලියක් නොව, දත්ත, සංවේදක, රොබෝ තාක්ෂණය සහ ඇල්ගොරිතම මගින් මෙහෙයවනු ලබන අධි-තාක්ෂණික විද්‍යාවක් බවට පත්ව ඇත්තේ එබැවිනි.

එක්සත් ජනපදයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය දෙස බලන විට, ජෝන් ඩියර් (John Deere) වැනි ප්‍රමුඛ යන්ත්‍රෝපකරණ ආයතන විසින් හඳුන්වා දී ඇති ‘See & Spray’ තාක්ෂණය මගින් නවීන ගොවිතැන මුළුමනින්ම වෙනස් කර ඇත. මෙම ට්‍රැක්ටර් යන්ත්‍රවල සවිකර ඇති අධි-තාක්ෂණික කැමරා සහ Computer Vision AI පද්ධති මගින් වගාබිම නිරීක්ෂණය කරමින්, බෝග සහ වල් පැලෑටි තනි තනිව වෙන්කර හඳුනා ගනී. සාම්ප්‍රදායිකව මුළු කුඹුරටම එකලෙස වල්නාශක ඉසීම වෙනුවට, වල් පැලෑටිය පිහිටි නිශ්චිත ස්ථානයට පමණක් මිලි තත්පර ගණනකින් රසායනික ද්‍රව්‍ය ඉසීමට මෙමගින් හැකි වන අතර, එමගින් රසායනික භාවිතය සියයට අනූවකින් පමණ අවම කරගැනීමට ඇමරිකානු ගොවීන්ට හැකි වී තිබේ. එපමණක් නොව, GPS තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය මගින් පාලනය වන ස්වයංක්‍රීය ට්‍රැක්ටර් රථ මිනිස් මෙහෙයවීමකින් තොරව දිවා රාත්‍රී දෙකෙහිම බීජ වැපිරීම, පස පෙරළීම සහ අස්වනු නෙළීම සාර්ථකව සිදුකරයි.


ඊශ්‍රායලය වැනි අධික ජල හිඟයකින් පෙළෙන රටක, CropX වැනි ස්මාර්ට් සංවේදක පද්ධති පස අභ්‍යන්තරයේ ස්ථර කිහිපයක තෙතමනය, ලවණතාව, පෝෂණ මට්ටම සහ උෂ්ණත්වය තත්‍ය කාලීනව (Real time) මැන බලයි. මෙම දත්ත පදනම් කරගනිමින් කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතම මගින් වගාවට ජලය අවශ්‍ය වන්නේ කුමන වේලාවටද සහ කුමන ප්‍රමාණයෙන්ද යන්න තීරණය කර ස්වයංක්‍රීයව බිංදු ජල සම්පාදන පද්ධති ක්‍රියාත්මක කරයි. එමගින් ජල පරිභෝජනය සියයට පනහකින් පමණ අවම කරගැනීමටත්, පොහොර අපතේ යාම වැළැක්වීමටත් ඔවුහු සමත් වී සිටිති. ඕස්ට්‍රේලියාවේ SkyKelpie ආයතනය AI ඩ්‍රෝන යොදාගනිමින් විශාල ගොවිපළවල සිටින දහස් සංඛ්‍යාත ගවයන් සහ එළුවන්ගේ චලනයන් පාලනය කරන අතර, SwarmFarm වැනි ස්වයංක්‍රීය කුඩා රොබෝ සමූහ මගින් වගාබිම් පරීක්ෂාව, වල් නෙළීම සහ නිශ්චිත පෝෂණ ද්‍රාවණ ඉසීම සිදු කරයි.
චීනයේ අලිබාබා (Alibaba) සමාගම විසින් නිර්මාණය කරන ලද ‘ET Agricultural Brain’ පද්ධතිය මගින් ගොවිපළවල සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, චලනයන් සහ උෂ්ණත්ව තත්ත්වයන් පරිගණක දර්ශන තාක්ෂණය මගින් නිරීක්ෂණය කර පූර්ව රෝග විනිශ්චය ලබා දෙයි. එපමණක් නොව, චීනයේ විශාල සහල් සහ තිරිඟු වගාබිම්වල සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ඩ්‍රෝන සහ ට්‍රැක්ටර් භාවිතයෙන් එකදු මිනිස් ශ්‍රමිකයෙකු නොමැතිව වගා කටයුතු සිදුකෙරේ. මෙම සියලු ගෝලීය උදාහරණවලින් පැහැදිලි වන්නේ කෘත්‍රිම බුද්ධිය මගින් ස්වාභාවික සම්පත් සුරැකීම, පාරිසරික හානිය අවම කිරීම, නියඟය හා ගංවතුර වැනි අහඹු කාලගුණික ආපදා පූර්ව නිගමනය කිරීම සහ කුඩා ඉඩකඩකින් ඉතා ඉහළ ඵලදාවක් ලබාගැනීම හරහා අනාගත ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කෙරෙන බවයි.
ලෝකයේ සිදුවන මෙම දැවැන්ත තාක්ෂණික පෙරළිය ශ්‍රී ලංකාවට ද මේ වන විටත් පැමිණෙමින් තිබේ. මෑත කාලයේදී මෙරට මාධ්‍යවල විශේෂ අවධානයට ලක්වූ සිදුවීමක් වූයේ කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය AI හරිතාගාර සංකීර්ණයයි. වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහයන්ගේ තාක්ෂණික දායකත්වයෙන් බිහිවූ ‘AI Grow’ නම් මෙම ව්‍යාපෘතිය මගින් තක්කාලි, බෙල්පෙපර්, සලාද කොළ සහ බිම්මල් වගාවන් සඳහා උෂ්ණත්වය, පෝෂණය සහ ජල සම්පාදනය කෘත්‍රිම බුද්ධිය මගින් ස්වයංක්‍රීයව පාලනය කරනු ලබයි. මෙමගින් ලැබෙන උසස් තත්ත්වයේ අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන් වෙත අපනයනය කෙරෙන අතර දේශීය සුපිරි වෙළෙඳසැල් සඳහා ද සපයනු ලැබේ. එපමණක් නොව, එම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ස්වයංක්‍රීය උපාංග විදේශයන් වෙත අලෙවි කිරීම ද සිදුකරයි.

මෙම සාර්ථක අත්හදා බැලීම නිරීක්ෂණය කළ හිටපු රාජ්‍ය නායකයන් සහ විද්වතුන් පෙන්වා දුන්නේ, මෙරට කෘෂිකර්මාන්තය යැපුම් මට්ටමේ සිට වාණිජමය හා තාක්ෂණික මට්ටමකට පරිවර්තනය කිරීමේ ස්වර්ණමය කාලය එළැඹ ඇති බවයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියයක් කේන්ද්‍ර කරගනිමින් කෘෂි නවීකරණ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටත්, ඊට කැමැත්තක් දක්වන පෞද්ගලික ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය සහ පුහුණු පහසුකම් ලබා දීමටත් රජය සැලසුම් කර ඇත. සාම්ප්‍රදායිකව අක්කරයකින් ලබන අස්වැන්න මෙන් තිස් ගුණයක දැවැන්ත අස්වැන්නක් මෙවැනි AI තාක්ෂණික හරිතාගාර සහ ස්මාර්ට් වගා ක්‍රම මගින් එකම බිම් ප්‍රමාණයකින් ලබාගැනීමට ඇති හැකියාව මෙහිදී ප්‍රමුඛ කරුණක් ලෙස මතුවෙයි. අතීතයේ ලෝකය වෙනස් කළ හරිත විප්ලවයටත් වඩා වැඩි බලපෑමක් ඇති කරන මෙම ‘දෙවන හරිත විප්ලවය’ මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව උඩුයටිකුරු කළ හැකිය.
අපේ රටේ “ගොවියා” යන වචනය ඇසුණු වහාම බොහෝ දෙනෙකුගේ සිතට නැඟෙන්නේ මඩ තවරාගත්, බුලත් විට කන, ණය බරින් මිරිකුණු, අහස දෙස බලමින් වැසි ඉල්ලන, අසරණ පුද්ගලයෙකි. පරම්පරා ගණනාවක් පුරා පැවැති මෙම ගතානුගතික ප්‍රතිරූපය නිසා තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඈත් වන තත්ත්වයක් නිර්මාණය විය. සාම්ප්‍රදායික යැපුම් ගොවිතැන තුළ පැවැති දැඩි ශාරීරික වෙහෙස, අවිනිශ්චිත කාලගුණය, සතුන්ගෙන් සිදුවන වගා හානි, අස්වැන්නෙන් සියයට තිහකට වඩා සිදුවන අපතේ යාම් මෙන්ම අතරමැදියන්ගේ සූරාකෑම හමුවේ ලැබෙන අවම ආදායම ද ඊට හේතු විය.

නමුත් මෙම ගතානුගතික අදහස් මැඩපවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අලුත් මඟකට යොමු කිරීමේ අතිමහත් හැකියාවක් කෘත්‍රිම බුද්ධිය සතුව පවතියි. ජාතික AI මූලෝපායික සැලැස්ම හරහා ශ්‍රී ලංකාව කලාපීය AI කේන්ද්‍රස්ථානයක් කිරීමට අපේක්ෂා කරන අතර, එහි ප්‍රධානතම කුළුණක් ලෙස කෘෂිකර්මය හඳුනාගෙන ඇත. මොරටුව, පේරාදෙණිය සහ රුහුණු වැනි දේශීය විශ්වවිද්‍යාල සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සංවර්ධනය කළ ‘ගොවි නැණ’ වැනි තීරණ සහායක පද්ධති හරහා ගොවීන්ට පසෙහි තත්ත්වය, කාලගුණ අනාවැකි සහ වෙළඳපොළ ඉල්ලුම අනුව වඩාත්ම ලාභදායී බෝග වගා කිරීමට උපදෙස් ලැබේ. එසේම, ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල සම්බන්ධතා දුර්වල වුවද ස්මාර්ට් ජංගම දුරකථනය තුළම ක්‍රියාත්මක විය හැකි Edge AI මෙවලම් මගින් කෙතේදීම වල් පැලෑටි සහ රෝග විනිශ්චය කිරීමේ හැකියාව ද උදා වී ඇත.
කෘත්‍රිම බුද්ධිය සහ නවීන තාක්ෂණය භාවිත කිරීම මගින් කෘෂිකර්මාන්තය යනු හුදෙක් ශාරීරික වෙහෙස මහන්සිය විඳින දුෂ්කර රැකියාවක් නොව, ඉහළ ප්‍රතිරූපයක් සහ විශාල ආදායමක් සහිත “තාක්ෂණික කෘෂි ව්‍යවසායකත්වයක්” (AgriTech Entrepreneurship) බවට පරිවර්තනය කළ හැකිය. මේ ඔස්සේ තරුණයින් කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කරගත හැකි ප්‍රධාන මාවත වන්නේ ඔවුන්ට හුරුපුරුදු ස්මාර්ට් තාක්ෂණය කෘෂිකාර්මික වටිනාකම් දාමයට බද්ධ කිරීමයි.

එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ කෘෂිකාර්මික ඩ්‍රෝන සහ භූ-තොරතුරු විශ්ලේෂණයයි. වතු ක්ෂේත්‍රයේ සහ කුඹුරුවල පලිබෝධ රෝග හඳුනාගැනීම, බෝග සිතියම්ගත කිරීම සහ නිවැරදි ලෙස පොහොර ඉසීම සඳහා ඩ්‍රෝන මෙහෙයුම්කරුවන් සහ දත්ත විශ්ලේෂකයින් ලෙස තරුණයින්ට ස්වයං රැකියා සහ ආයතනික අවස්ථා උදාවෙයි. තවත් මාර්ගයක් වන්නේ මෘදුකාංග සහ AI මාදිලි නිර්මාණයයි. දේශීය බෝග වර්ග සහ කාලගුණික තත්ත්වයන්ට ගැළපෙන පරිදි සිංහල සහ දෙමළ භාෂාවලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන යෙදවුම්, ඇල්ගොරිතම සහ Edge AI මාදිලි සංවර්ධනය කරන මෘදුකාංග ඉංජිනේරුවන් සහ දත්ත විද්‍යාඥයන් ලෙස තරුණ තරුණියන්ට ක්ෂේත්‍රයට සම්බන්ධ විය හැකිය.
එසේම, ස්මාර්ට් හරිතාගාර සහ පාලිත පරිසර වගාවන් කළමනාකරණය කිරීම ද තරුණයන් ආකර්ෂණය වන ජනප්‍රිය ක්ෂේත්‍රයකි. පස නොමැතිව ජලරෝපිත (Hydroponics) ක්‍රමවේද, උෂ්ණත්වය සහ පෝෂණ ද්‍රාවණ ස්වයංක්‍රීයව පාලනය වන බහු-ගෘහ සංකීර්ණ පවත්වාගෙන යමින්, පරිගණක තිරයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් මගින් වගාව පාලනය කරන අධි-තාක්ෂණික ව්‍යවසායකයින් ලෙස තරුණයන්ට ආයෝජනය කළ හැකිය. ඊට අමතරව, අස්වැන්න නෙළීමේ සිට පාරිභෝගිකයා සහ අපනයනකරුවා වෙත ළඟා වීම දක්වා වූ සැපයුම් දාමය AI මගින් කාර්යක්ෂම කරමින්, අතරමැදියන්ගෙන් තොරව ඉහළ ලාභයක් ලබන AgriTech Startups ආරම්භ කිරීමට ද තරුණ පරපුරට විශාල ඉඩකඩක් පවතියි.

සංවර්ධනය වන ලෝකය සමඟ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාව ද සාම්ප්‍රදායික කෘෂිකාර්මික රාමුවෙන් මිදී තාක්ෂණික කෘෂිකර්මාන්තයකට අවතීර්ණ විය යුතුය. කෘත්‍රිම බුද්ධිය යනු ගොවියා ගොවිතැනින් ඉවත් කරන්නක් නොව, ගොවියාගේ ශ්‍රමය, කාලය සහ පිරිවැය සුරකිමින් ඔහුගේ අස්වැන්න සහ ජීවන තත්ත්වය උසස් කරන ප්‍රබල සහකරුවෙකි. අපගේ පෞරාණික කෘෂිකාර්මික උරුමය සහ අත්දැකීම්, නවීන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමඟ බද්ධ කිරීම මගින් අනාගත ආහාර සුරක්ෂිතතාව තහවුරු කරගන්නා අතරම, තාක්ෂණයෙන් පිරිපුන් අභිමානවත් “ස්මාර්ට් AI ගොවි” පරපුරක් රට තුළ බිහිකිරීමේ ස්වර්ණමය අවස්ථාව දැනටමත් උදා වී ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක