හෝමර්ගේ සම්භාව්‍ය වීර කාව්‍යය Odyssey ඇසුරෙන් ක්‍රිස්ටෝෆර් නෝලන් තැනූ දැවැන්ත සිනමාපටය


හෝමර් නැමැති ග්‍රීක කවියා විසින් රචනා කරන ලද ඉලියඩ් සහ ඔඩිසි යන මහා වීර  කාව්‍ය දෙක ලෝකයේ සම්භාව්‍ය සාහිත්‍යය පිලිබඳ දැනුම්වත් කව්රුත් දන්නා නිර්මාණ දෙකක්. මේ අතරින් ඔඩිසි කාව්‍යය මේ දිනවල ලොව පුරා  සුවිසල් අවධානයක් දිනාගනිමින් තිබෙනවා. එයට හේතුව එය ඇසුරෙන් තැනුණු දැවැන්ත සිනමාපටයක් මේ වනවිට ඉතා සාර්ථකව තිරගත වෙමින් තිබීම යි. The Odyssey  යනුවෙන්ම නම් කර ඇති මේ සිනමාපටය මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වන හොලිවුඩ් සිනමාපටය බවට පත් වී ඇති බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවෙයි.

Odyssey  කාව්‍යය ගැන අසා තිබූ අයට දැන් එය අපූරු සිනමා නිර්මාණයක් හැටියටත් රස විඳීමේ අවස්ථාව මේ නිසා ලැබී තිබෙනවා.

මැට් ඩේමන්

මේ චිත්‍රපටය ගැන ලොකු අවධානයක් යොමු වීමට එහි අධ්‍යක්ෂවරයාගේ කීර්තිමත් බවත් එක හේතුවක්. මෙය අධ්‍යක්ෂණය  කර තිබෙන්නේ සම්මාන පිට සම්මාන දිනා ඇති විශිෂ්ට සිනමාකරුවකු වන ක්‍රිස්ටෝෆර් නෝලන්.

ඔහු මෙයට කලින් නිර්මාණය කළ ආසන්නම චිත්‍රපටය වන Oppenheimer චිත්‍රපටයත් විශාල අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. 2024 වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේ දී එය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම නළුවා (කිලියන් මර්ෆි) ඇතුළු සම්මාන කිහිපයක්ම  දිනාගත්තා.

Oppenheimer චිත්‍රපටයට පසුබිම් වූයේ ලොව පළමු පරමාණු බෝම්බය නිපදවීමේ ව්‍යාපෘතියේ පුරෝගාමී විද්‍යාඥයා වූ රොබට් ඔපන්හයිමර් ගේ ජීවිත කතාව යි. ඇමරිකාව දෙවැනි ලෝක යුද්ධය සමයේ ජපානයේ හිරෝෂිමා, නාගසාකි නගරවලට හෙළුවේ මෙම පරමාණු බෝම්බ යි.

The  Odyssey  මේ වෙද්දී ඉතා ඉහළ ආදායම් උපයමින් තිරගත වෙමින් තිබෙනවා. මෙම සටහන ලියන අවස්ථාව වනවිට එය ලොව පුරා ප්‍රදර්ශණයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 640 කට ආසන්න ආදායමක් උපයා තිබුණා. එය ලංකා රුපියල් කෝටි 21,000 කට ආසන්න ආදායමක්. එය මේ ආදායම උපයා ඇත්තේ ප්‍රදර්ශණය ආරම්භ වී දින 12 ක් වැනි කෙටි කාලයක් තුළ  බව සඳහන් කළ යුතුයි. The Odyssey  සිනමාශාලා වෙත පැමිණියේ ජුලි 17 වැනි දින යි.

මේ චිත්‍රපටයට පසුබිම් වන කතා පුවත ගැනත් මෙහි දී කෙටියෙන් සඳහන් කිරීම වැදගත්.

හෝමර්ගේ ඉලියඩ් සහ ඔඩිසි යන නිර්මාණවලින් කියැවෙන්නේ එක්තරා යුද්ධයක් පිලිබඳ කතාවක්. එම යුද්ධය ට්‍රෝජන් සටන නමින් හැඳින්වෙනවා. මේ සටන ඇතිවන්නේ ග්‍රීකයන් සහ ට්‍රෝයි නැමැති පුරයේ පාලකයන් අතර යි.

හෙලන් නැමැති ග්‍රීක රැජිනක් ට්‍රෝයි කුමරකු විසින් ට්‍රෝයි වෙත රැගෙන ඒම මේ යුද්ධයට මුල් වෙනවා. ට්‍රෝජන් අශ්වයා පිලිබඳ සුප්‍රකට කතාවත් මේ යුද්ධය හා බැඳී තිබෙන්නක්.

ඉලියඩ් කාව්‍යයෙන් ට්‍රෝයි පුර සටන ගැන කියැවෙන අතර ඔඩිසි කාව්‍යයෙන් කියැවෙන්නේ එම සටනට යන ඔඩිසියස් නැමැති ග්‍රීක රජ කෙනෙකු පිලිබඳ කතාවක්. ඔහු යුද්ධය අවසන්ව මුහුදු මාර්ග ඔස්සේ පෙරළා සිය රට පැමිණෙන අතර සිදුවන අතිශය නාටකීය සිදුවීම් පෙළක් ඊට පසුබිම් වෙනවා. නෝලන්ගේ Odyssey චිත්‍රපටය තුළ ඇතුළත් වන්නේ මේ කතාව යි.

මේ චිත්‍රපටයේ රඟපාන නළු නිළියන්ගේ දක්ෂතාවත් එහි සාර්ථකත්වයට හේතුවක්. The Odyssey  චිත්‍රපටයේ ඔඩිසියස් රජුගේ චරිතය නිරූපනය කරන්නේ අති දක්ෂ රංගන ශිල්පියෙකු වන මැට් ඩේමන්.
Spiderman චිත්‍රපටවල spiderman ගේ චරිතයට පණ පොවන ජනප්‍රිය නළු ටොම් හොලන්ඩ් ද මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා.

The Odyssey  චිත්‍රපටයේ රඟපෑම සඳහා ඩේමන්ට ඇමරිකානු ඩොලර් මිලියන 15 ක මුදලක් ගෙවා ඇති බව සඳහන්. එය වර්තමාන විනිමය අනුපාතයට අනුව ලංකා රුපියල් කෝටි 500 කට ආසන්න මුදලක්.

The Odyssey  චිත්‍රපටයේ ඔඩිසියස් ගේ චරිතය තම රංගන ජීවිතයේ  මෙතෙක් තමාට ලැබුණු හොඳම සහ වැදගත්ම චරිතය බවත් මැට් ඩේමන් පවසනවා.

ක්‍රිස්ටෝෆර් නෝලන්

ඩේමන් මාස හයකට ආසන්න කාලයක් දැඩි කැපවීමෙන් මෙම චරිතය  සඳහා පුහුණු වී තිබූ බවත් පැවසෙනවා.    ඔහුට ඔහුගේ ආහාර රටාවේ පවා වෙනස්කම් කරන්නට සිදු වූ බව සඳහන්.   පුහුණු කඳවුරුවලට සහභාගි වෙමින් විශේෂිත ශාරීරික පුහුණුවීම්වල නිරත වීමටත් ඩේමන්ට සිදු වී තිබුණා.

චිත්‍රපටයේ වැඩ කළ කාලය පුරාම ඔහු  මත්පැන්, කිරි ආහාර, පැණිරස, කැෆේන් ආදියෙන් සම්පූර්ණයෙන් වැලකී සිටියා ලු. ඒ ශරීරයේ බර පාලනය කරගැනීම සඳහා යි.  ඩේමන්ගේ සාමාන්‍ය බර කිලෝ 85-90 ක් පමණ වන බව  පැවසෙනවා. නමුත් චිත්‍රපටය වෙනුවෙන් ඔහු එය කිලෝ 75 ක් පමණ දක්වා අඩු කරගෙන තිබුණා. අධ්‍යක්ෂ  නෝලන්ට ඔඩිසියස් චරිතය සඳහා අවශ්‍ය වී තිබුණේ ටිකක් කෙට්ටු, නමුත් ශක්තිමත් පෙනුමක්.

දුනු ශිල්පය පවා ඩේමන්ට පුහුණු වීමට සිදු වී තිබුණා.

ක්‍රිස්ටෝෆර් නෝලන් සිය චිත්‍රපටවල දී විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, පරිගණක ග්‍රැෆික ආදිය යොදා ගන්නේ ඉතා අඩුවෙන් බව ප්‍රසිද්ධ කාරණයක්.  The Odyssey  චිත්‍රපටයේ දී දුනු ඊතල ආදියේ දර්ශණ  ද  පරිගණක  ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට ඔහු කැමැති වී තිබුණේ නැහැ. මේ නිසා ඩේමන්ටත් දුනු ශිල්පය පුහුණු වීමට සිදු වී තිබූ අතර නිවසේ සිටිය දී පවා ඔහු වරු ගණන් ඒ සඳහා කාලය  මිඩංගු කර තිබුණා.

The Odyssey  චිත්‍රපටය සම්පූර්ණයෙන් රූපගතකර ඇත්තේ IMAX කැමරා යොදාගෙන යි. සම්පූර්ණ චිත්‍රපටයම මේ කැමරා යොදාගෙන රූගත කළ පළමු වෘතාන්ත චිත්‍රපටය මෙය වීමත් විශේෂත්වයක්.

නිහාල් පීරිස්

රසගඟුල