දිස්ත්‍රික්ක 14ක ග්‍රාම නිලධාරී වසම් 538ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කෙරේ

දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර පාලනය කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස නම් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ වන විට දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ. වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් බහුතරයක් මෙම අධි අවදානම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කය තුළ කොළඹ මහා නගර සභා බලප්‍රදේශය ඇතුළුව බත්තරමුල්ල, මහරගම, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩඋයන සහ ගොතටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක ග්‍රාම නිලධාරී වසම් අධි අවදානම් සහිත බවට හඳුනාගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මීගමුව, බියගම, වත්තල, කටාන සහ මහර ඇතුළු ප්‍රදේශ රැසක වසම් ද මෙම ලැයිස්තුවට එක් කර ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, පාණදුර, වඩ්ඩුව, කළුතර සහ පායගල යන ප්‍රදේශවල වසම් ද අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත. මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි වසම් රැසක් ද මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා තම නිවාස, ආයතන සහ පොදු ස්ථාන පිරිසිදුව තබා ගැනීමටත්, ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි ජලය එකතු වන ස්ථාන ඉවත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහජනතාවට පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත් අදාළ ප්‍රදේශ රැසක ජනතාව චෝදනා කරන්නේ, පසුගිය කාලය පුරා පළාත් පාලන ආයතන මගින් කසළ නිසි පරිදි බැහැර නොකිරීම මෙම අධි අවදානම් තත්ත්වය උත්සන්න වීමට ප්‍රධාන හේතුවක් වූ බවයි. මේ අතර, පාරිසරික අර්බුදවලට විසඳුම් ලෙස වත්මන් රජය හඳුන්වා දුන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාකාරී මට්ටමින් අසාර්ථක වීම ද ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමට බලපා ඇති බවට විවිධ පාර්ශ්ව මේ වන විට මත පළ කරමින් සිටී.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බැවින් ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළ යා හැකි බවයි. එබැවින් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවල විශේෂ මදුරු මර්දන වැඩසටහන්, නිවාස පරීක්ෂා කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. උණ, හිසරදය, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වන ලෙස ද සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාලීන පුවත්