නේපාල ග්ලැෂියර කඩාවැටීම ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොමද?


අද වන විට ලෝකය මුහුණ දී සිටින බරපතළම සහ භයානකම පාරිසරික අභියෝගය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම සහ එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස සිදුවන ග්ලැසියර දියවීමයි. මෑතකදී නේපාලයේ සිදුවූ ග්ලැසියර කඩා වැටීම සහ හදිසි ජල ගැලීම් වැනි ආපදා මෙම අර්බුදයේ බිහිසුණු යථාර්ථය ලෝකයාට කියාපාන ලද තවත් එක් කණගාටුදායක ආරම්භයක් පමණි. අනාදිමත් කාලයක සිට මිනිසුන්ගේ සිතේ පැවති ලෝක විනාශයක් පිළිබඳ බිය, මෙම ස්වාභාවික ව්‍යසනත් සමඟ තවදුරටත් තීව්‍ර වී ඇත. මේ පිළිබඳ අප බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ, මෙම ස්වාභාවික ව්‍යසනය හමුවේ අනාගතයේදී ශ්‍රී ලංකාව වැනි දූපත් රටකට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව ඉමහත් කුතුහලයක් සහ බියක් ඇති වී තිබෙන බැවිනි.

ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ හරිතාගාර වායු විමෝචනයයි. පෘථිවි වායුගෝලයට මුදාහැරෙන මෙම තාපයෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සාගර විසින් උරාගනු ලබයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සාගර ජලය උණුසුම් වී ප්‍රසාරණය වීම සහ ධ්‍රැවීය අයිස් තට්ටු මෙන්ම කඳුකර ග්ලැසියර වේගයෙන් දියවීම සිදුවේ.

මෙම තත්ත්වය හේතුවෙන් ගෝලීය මුහුදු මට්ටම අඛණ්ඩව ඉහළ යමින් පවතී. විද්‍යාත්මක වාර්තාවන්ට අනුව, 1993 වසරේ සිට මේ දක්වා සාගර මට්ටම සෙන්ටිමීටර 10කට වඩා ඉහළ ගොස් ඇති අතර, 2014 සිට 2023 දක්වා කාලය තුළ මුහුදු මට්ටම ඉහළ යාමේ වාර්තාගත වේගය, 1993 – 2002 පළමු දශකයට වඩා දෙගුණයකටත් වඩා වැඩි වී ඇත. අන්තර්ජාතික දේශගුණික ආයතනවල ඇස්තමේන්තුවලට අනුව 2050 වන විට ගෝලීය මුහුදු මට්ටම තවත් සෙන්ටිමීටර 15ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැක.

මෙම අර්බුදයේ වඩාත්ම බරපතළ ගැටලුව වන්නේ දූපත් සහ මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටි රාජ්‍යයන්ට සිදුවන බලපෑමයි. ලෝක ජනගහනයෙන් මිලියන ගණනක්, එනම් දළ වශයෙන් මිලියන 770ත් 900ත් අතර පිරිසක් මුහුදු මට්ටමට ආසන්න පහත් වෙරළබඩ කලාපවල වාසය කරති. මුහුදු මට්ටම අඛණ්ඩව ඉහළ යාම නිසා 2050 වන විට මිලියන 1,200ක් දක්වා වූ පිරිසකට අවතැන් වීමට හෝ සංක්‍රමණය වීමට සිදුවීමේ දැඩි අවදානමක් පවතී. මාලදිවයින වැනි ලෝකයේ පහළම පිහිටි රටවල් මෙන්ම ටුවාලු සහ කිරිබති වැනි පැසිෆික් දූපත් රාජ්‍යයන් මුහුදු ජලයෙන් යටවීමේ සහ සම්පූර්ණයෙන්ම අහිමි වී යාමේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී සිටී.

දූපත් රාජ්‍යයන්ට කඩොලාන මගින් ස්වාභාවික ආරක්ෂාවක් හිමි වෙයි

මහද්වීපවලට සාපේක්ෂව දූපත් සහ කුඩා කොදෙව් වෙත මෙම තත්ත්වය ඉතා තදින් බලපායි. ශ්‍රී ලංකාව වැනි දූපත් රටවල් ද මෙම පාරිසරික තර්ජනයට ඍජුවම මුහුණපා සිටී. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කර ඇති දේශගුණික බලපෑම් වාර්තා සහ ලෝක බැංකු දත්තවලට අනුව, ඉදිරි කාලය තුළ මෙරට සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යනු ඇති අතර, අධික උණුසුම් දින වැඩිවීම හේතුවෙන් මානව සෞඛ්‍යයට සහ කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වේ. විශේෂයෙන්ම වියළි කලාපයේ පවතින ජල හිඟය තවදුරටත් තීව්‍ර විය හැකිය.

ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන සහ සංචාරක කර්මාන්තය සඳහා ඉතා වැදගත් වන කොළඹ – ගාල්ල ප්‍රවාහන කොරිඩෝව ඇතුළු ප්‍රධාන වෙරළබඩ යටිතල පහසුකම් දේශගුණික විපර්යාස සහ මුහුදු ජල ගැලීම්වලට අතිශයින් ගොදුරු විය හැකි මට්ටමක පවතී. ගෝලීය උණුසුම ඉහළ යාම සහ ග්ලැසියර දියවීම නිසා වෙරළඛාදනය වීම, මුහුදු ජලය ගොඩබිමට ගලා ඒම වැඩිවීම මෙන්ම ලවණ ජලය ගංගා මෝය සහ භූගත පානීය ජල මූලාශ්‍ර වෙත කාන්දු වීම වැනි බරපතළ ගැටලු මතුවෙමින් පවතී.

ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව අසල මුහුදු මට්ටම ඉහළ නැගි ඇති ආකාරය සංසන්ධනාත්මක ඡායාරූපයකින්

මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල් විවිධ අනුවර්තන ක්‍රම අනුගමනය කරමින් සිටී. උදාහරණයක් ලෙස, වැනීසිය වැනි නගරවල මුහුදු රළ පාලනය කිරීමට චලනය වන ජල බාධක යෙදීම, චීනයේ මෙන් ජලය උරාගන්නා ස්වාභාවික ‘ස්පොන්ජ් නගර’ සංකල්පය ක්‍රියාත්මක කිරීම, මාලදිවයින වැනි රටවල ජල මතුපිට පාවෙන නිවාස ඉදිකිරීම සහ ෆීජී වැනි දූපත්වල දැඩි ලෙස අවදානමට ලක්වූ ගම්මාන සම්පූර්ණයෙන්ම ආරක්ෂිත උස්බිම් වෙත ඉවත් කර පුනරුස්ථාපනය කිරීම සිදුකෙරේ.

ස්පොන්ජ් නගර සංකල්පය

ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන්ට මෙම උවදුරෙන් වැළැක්වීම සඳහා විවිධ ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ හැකිය. මුහුදු ජලය ගොඩබිමට ගලා ඒම වැළැක්වීම සඳහා ආරක්ෂක බාධක සහ රෙවෙට්මන්ට්ස් (Revetment) හෙවත් ඇරුකුම් බැමි යෙදීම මඟින් ජල ගැලීම් යම් මට්ටමකට පාලනය කළ හැක. කෙසේ වෙතත්, මහ විශාල ජල ගැලුමක් හෝ දැවැන්ත මුහුදු මට්ටම් ඉහළ යාමක් සම්පූර්ණයෙන්ම නැවැත්වීම පහසු නැත. එබැවින් ස්වාභාවික විසඳුම් කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

පාවෙන නගර සංකල්පය

විශේෂයෙන්ම කඩොලාන වනාන්තර සහ තෙත්බිම් පද්ධති මඟින් වෙරළ තීරය ස්වාභාවිකව ආරක්ෂා කරන අතර, මුහුදු ජලය ගොඩබිමට ගලා ඒම සහ කුණාටු තත්ත්වයන් අවම කර ගැනීමට විශාල රුකුලක් ලබා දෙයි. සාගර ආශ්‍රිතව ඇතිවන දැවැන්ත රළ පහරවල් සහ ජල ගැලීම්වල බලපෑම අඩු කිරීමට කඩොලාන පද්ධති හරහා ප්‍රබල ස්වාභාවික බාධකයක් සැපයේ. ඊට අමතරව අවදානම් කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශ දැඩි ලෙස පාලනය කර අනවශ්‍ය ජනාවාස ව්‍යාප්ත වීම වැළැක්වීම මඟින් මෙරට වෙරළබඩ පරිසරය සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත.

(Revetment) හෙවත් ඇරුකුම් බැමි

මෙහිදී තවදුරටත් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ දේශගුණික විපර්යාස හමුවේ මතුවන මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ජාතික මට්ටමේ මෙන්ම අන්තර්ජාතික මට්ටමේ සහයෝගීතාව අත්‍යවශ්‍ය වන බවයි. දූපත්වාසීන්ට සහ පහත් බිම්වල ජීවත්වන මිලියන සංඛ්‍යාත ජනතාවට තම ජීවනෝපායන් අහිමි වීමේ අවදානම මෙන්ම, සංක්‍රමණිකයන් බවට පත්වීමේ තර්ජනය වැළැක්වීම සඳහා ගෝලීය හරිතාගාර වායු විමෝචනය දැඩි ලෙස සීමා කළ යුතුය. එසේ නොමැති නම්, නේපාලයේ ග්ලැසියර කඩා වැටීමෙන් ඇරඹුණු මෙම ස්වාභාවික අනතුරු ඇඟවීම් ඉදිරියේදී සමස්ත පෘථිවියේම පැවැත්ම තර්ජනයට ලක් කරන මහා පරිමාණ ව්‍යසනයක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

හරිත දනව්ව