ඉකුත් සැප්තැම්බර් 2 වැනිදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ දරුවන් දහස් ගණනක් සම්බන්ධයෙන් සතුට, බලාපොරොත්තුව, කනස්සල්ල මෙන්ම ඇතැම් පවුල්වල දුක හා ආතතිය ද නැවතත් මතු වී තිබේ. මෙවර විභාගය අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණු අතර සිසුන් 294,089 දෙනකු ඊට පෙනී සිටි බව වාර්තා වී තිබේ. එහෙත් මෙවැනි අවස්ථාවක වඩාත් වැදගත් ප්රශ්නය වන්නේ “කී දෙනකු සමත් වූවාද?” යන්න නොව, “ප්‍රතිඵලය දරුවකුගේ ජීවිතයට අප කෙසේ ආදේශ කරන්නේද?” යන්නය. ප්‍රතිඵලය හොඳ නම් දරුවාට ආදරයත්, ප්‍රශංසාවත්, තෑගිත් හිමි කර දී, ප්‍රතිඵලය අපේක්ෂිත මට්ටමට නොමැති නම් බැණවැදීම, පහරදීම, සමාජයේ ලැජ්ජාවට පත් කිරීම හෝ “ඔයාට කිසිම දෙයක් බැහැ” වැනි වචන භාවිත කිරීම අද වන විට ද නොඅඩුවම සිදුවන්නකි. මෙය බොහෝ විට මව්වරුන්ගේ ආතතිය දරුවා පිටින් යැවීමක් වුවද, මෙය කිසිසේත්ම ශිෂ්ට සමාජයකට ගැළපෙන ක්‍රමයක් නොවේ.
අද වන විට මෙම තත්ත්වය කෙතරම් බරපතළ සමාජ අර්බුදයක් බවට පත්ව තිබේ ද යත්, මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම හෝ ඔවුන් මානසික පීඩාවට පත් කිරීමෙන් වළකින ලෙස දෙමාපියන් හා භාරකරුවන්ට අවධාරණය කර තිබේ. එමෙන්ම දරුවන් අපහසුතාවට හෝ ලැජ්ජාවට පත්වන ආකාරයෙන් ඔවුන්ගේ ප්‍රතිඵල සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොකරන ලෙස ද අවධාරණය කර ඇත. නමුත් මෙය සාමාන්‍ය අවවාදයක් ලෙස නොව, දරුවාගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ බරපතළ මතක් කිරීමක් ලෙස සැලකිය යුතු ය.
ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ නීති පසුගිය කාලය තුළ ද සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ. 1939 අංක 48 දරන ළමා සහ යොවුන් තැනැත්තන් පිළිබඳ ආඥා පනත (Children and Young Persons Ordinance) මින් පෙර අදාළ වූයේ වයස අවුරුදු 16 දක්වා වූ ළමයින්ට පමණි. නමුත් 2024 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වයස අවුරුදු 18ට අඩු දරුවන් මෙහි ආරක්ෂාව යටතට ඇතුළත් කර ඇත. ශාරීරික දඬුවම් තහනම් කිරීම: දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීමට අවසර දී තිබූ පැරණි ප්‍රතිපාදන මෙම සංශෝධනය මඟින් සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇත. එහි නව සංශෝධන මඟින් වයස අවුරුදු 18ට අඩු සියලු දරුවන් සඳහා එහි ආරක්ෂාව පුළුල් කළ අතර, දෙමාපියන්, ගුරුවරුන් හෝ භාරකරුවන් විසින් දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීමට ඉඩ සලසා තිබූ විධිවිධානයක් ද ඉවත් කර ඇතැයි UNICEF සඳහන් කරයි.
එබැවින් “දරුවාට පහර දීම ඔහුගේ හෝ ඇයගේ යහපත සඳහාය” යන පැරණි සමාජ තර්කය අද නීතියෙන් හෝ නූතන ළමා මනෝවිද්‍යාවෙන් සාධාරණීකරණය කළ නොහැක. මෙහිදී අප අත්‍යවශ්‍යයෙන්ම අවබෝධ කරගත යුතු මූලික කරුණක් තිබේ. එනම් විභාග ප්‍රතිඵලයක් යනු දරුවකුගේ සමස්ත බුද්ධිය, පෞරුෂය, නිර්මාණශීලීත්වය, මානව සම්බන්ධතා හැකියාව හෝ අනාගත සාර්ථකත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් නොවන බවය. විභාගයකින් මනිනු ලබන්නේ එම විභාගය නිර්මාණය කර ඇති අරමුණට අදාළ නිශ්චිත දැනුම හා කුසලතා සමූහයකි. නමුත් එයට දරුවාගේ එදිනෙදා ගැටලු විසඳීමේ හැකියාව, නිර්මාණශීලීත්වය, කලා හැකියාව, සමාජ කුසලතා, නායකත්වය, චිත්තවේගීය පරිණතභාවය, ප්‍රායෝගික බුද්ධිය වැනි සියලු අංග සම්පූර්ණයෙන්ම ඇතුළත් වන්නේ නැත. එය අප සියලු දෙනා විසින්ම අවබෝධ කරගත යුත්තකි. ඒ නිසා එක් දිනක, නිශ්චිත කාල සීමාවක් තුළ, නිශ්චිත ප්‍රශ්න පත්රයකට හෝ දෙකකට ලබාගත් ලකුණු කිහිපයකින් දරුවකුගේ මුළු ජීවිතයම විනිශ්චය කිරීම බරපතළ අසාධාරණයකි.
මෙම කරුණ මුල් කොට බුද්ධි හා සාධන පරීක්ෂණ සම්බන්ධයෙන්ම මනෝවිද්‍යාඥයන් අතර දීර්ඝ කාලයක සිට විවාද පවතී. ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය (American Psychological Association) පෙන්වා දෙන්නේ පරීක්ෂණ භාවිතය දරුවන්ගේ ඉගෙනුම් අවස්ථා පුළුල් කිරීමට පමණක් යොදාගත යුතු අතර, එය ඇතැම් දරුවන්ගේ ඉදිරි ගමනට බාධකයක් බවට පත් නොවිය යුතු බවයි. එමෙන්ම “එකම දරුවාගේ හැකියාව කාලයත් සමඟ වෙනස් වන්නේ ඇයි?” යන පැනයට නිසි පිළිතුරු අප රටේ බොහෝ වැඩිහිටියෝ නොදනිති. දරුවකුගේ ශාරීරික වර්ධනය දෙස බැලුවහොත් මෙය පහසුවෙන් අවබෝධ කරගත හැකිය. සෑම දරුවකුම එකම වයසේදී එකම උසකට නොවැඩෙයි. එකම වයසේ දරුවන් අතර ශාරීරික පරිණතභාවයේ විශාල වෙනස්කම් තිබිය හැකිය. ඇතැමෙකු ඉක්මනින් වැඩෙන අතර තවත් අයෙකු පසුව වර්ධනය වේ. මොළයේ සංජානන හා විධායක ක්‍රියාකාරකම් ද දරුවාගේ වර්ධනය සමඟ පරිණත වන සංකීර්ණ ක්‍රියාවලියකි.
එම නිසා වයස අවුරුදු 10කදී යම් විෂයක විශිෂ්ට දස්කම් දැක්වූ දරුවකුට වයස අවුරුදු 16දී එම මට්ටම අනිවාර්යයෙන්ම පවත්වාගෙන යාමට සිදුවන්නේ නැත. එසේම වයස අවුරුදු 10දී සාමාන්‍ය මට්ටමක සිටි දරුවකු පසුව ඉතා ඉහළ මට්ටමකට ළඟා වීමට ද හැකි ය. මෙය තේරුම් නොගත් විට සිදුවන්නේ දරුවකුගේ එක්තරා අවධියක ලකුණක් ඔහුගේ හෝ ඇයගේ සදාකාලික හැකියාවක් ලෙස සලකනු ලැබීමය. මෙම යථාර්ථයට අනුව පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලැබූ දරුවා ද අසාර්ථක විය හැකිය; අඩු ලකුණු ලැබූ දරුවා ද සාර්ථක විය හැකිය. නමුත් අපේ සමාජයේ දක්නට ලැබෙන බරපතළ මිථ්‍යාවක් වන්නේ විභාගයෙන් ඉහළ ලකුණු ලබන දරුවා අනිවාර්යයෙන්ම ජීවිතයේ සාර්ථක වන අතර අඩු ලකුණු ලබන දරුවා අසාර්ථකයකු වන බවය. මෙය මොන තරම් අසාර්ථක තර්කයක් ද යන්න අප ජීවත් වන සමාජය පිළිබඳ විමසීමෙන් වුව ද අවබෝධ කරගත හැක. විශේෂයෙන් නවීනතම අධ්‍යාපනික අයැයුම් අතරට එක් වන පරිගණක සාක්ෂරතාව (computer literacy) මෙම විභාග මඟින් විමසා නොබැලෙන වෙනම විෂය පථයකි. එය ගෝලීය මට්ටමේ විද්වතුන් හා ධනවතුන් බිහි කිරීමට මේ වන විට සමත්ව තිබේ.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවල විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සියලු දෙනාම තම වෘත්තීය ජීවිතයේ එකසේ ඉහළට නොයති. නමුත් පාසල් කාලයේදී විශිෂ්ට ප්‍රතිඵල නොලැබූ බොහෝ දෙනෙක් පසුව විවිධ වෘත්තීය හා ව්‍යාපාරික ක්ෂේත්රවල විශිෂ්ටත්වයට පත්වෙති. එහි අනෙක් පැත්ත ද සත්‍ය ය. පාසල් විභාගවලදී ඉතා දක්ෂ දරුවකු පසුව වෙනත් ක්ෂේත්රයකදී අපේක්ෂිත සාර්ථකත්වය නොලැබිය හැකිය. එයට හේතුව විභාග දක්ෂතාව සහ ජීවිත දක්ෂතාව එකම දෙයක් නොවීමය. රැකියා ලෝකයේදී ගැටලු විසඳීම, කණ්ඩායමක් සමඟ කටයුතු කිරීම, සන්නිවේදනය, නායකත්වය, නව අදහස් ඉදිරිපත් කිරීම, අවදානම් කළමනාකරණය, අසාර්ථකත්වයෙන් නැවත නැඟී සිටීම වැනි හැකියාවන් ද අතිශය වැදගත් වේ. ඒ සඳහා වන එක් සරල නිදසුනක් වනුයේ මොරටුව විශ්වවිද්‍යාලයේ මෝස්තර නිර්මාණය පිළිබඳ උපාධිධාරියකු වන සචින්ද්‍ර දිලුම් සංජීව ය. ඔහු තම අධ්‍යාපන සුදුසුකම්වලින් ඉඳුරාම පරිබාහිරව ශ්‍රී ලංකාවේ දේශීය අමුද්‍රව්‍ය හා නව නිෂ්පාදන සංකල්ප එකතු කරමින් ව්‍යවසායකත්ව ක්ෂේත්රයට පිවිසි තරුණ ව්‍යවසායකයෙකි. විශේෂයෙන්ම දිවුල් මුසු කරමින් ‘Woodapple Chocolate’ නමින් නව ආහාර නිෂ්පාදනයක් හඳුන්වාදීම ඔහුගේ ව්‍යවසායකත්වයේ සුවිශේෂී පියවරක් ලෙස සඳහන් කළ හැකිය.සාම්ප්‍රදායිකව පලතුරක් ලෙස භාවිත වන දිවුල්වල රසය නව ආකාරයකින් පාරිභෝගිකයන් වෙත ගෙන ඒම ඔහුගේ නිර්මාණශීලීත්වය පෙන්නුම් කරයි. ඒ අනුව මෝස්තර නිර්මාණ විෂය පථය හා දිවුල් චොක්ලට් අතර ඇති සමානත්වය අප විමසා බැලිය යුතුය.
මේ අතර 1983දී මනෝවිද්‍යාඥ හොවාඩ් ගාඩ්නර් විසින් ඉදිරිපත් කළ බහුවිධ බුද්ධි න්‍යාය (Multiple Intelligences) සංකල්පය අධ්‍යාපන ලෝකයේ විශාල අවධානයක් දිනා ගත්තේය. ඔහු භාෂාමය, තාර්කික-ගණිතමය, සංගීතමය, අවකාශීය, ශාරීරික-චාලක, අන්තර්පුද්ගල හා අභ්යන්තරපුද්ගල වැනි විවිධ හැකියා ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ අතර, පසුව ස්වාභාවික හා පැවැත්ම සම්බන්ධ හැකියා පිළිබඳ ද අදහස් ඉදිරිපත් කළේය. එම අදහස අධ්‍යාපනයට ඉතා වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. එනම් “ගණිත ප්‍රශ්න පත්රයකට හොඳින් පිළිතුරු දීම පමණක් මත දරුවකුගේ සියලු බුද්ධිමය හැකියාව මැනිය හැකිද?” යන්නය. ඒ නිසා “ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වන්නේ ඔබේ දරුවා නොව, ඔහුගේ බහුවිධ බුද්ධි න්‍යායට අනුව දරුවාගේ නිසි සමත්කම් මැනීමට අසමත් විභාග ක්‍රමයයි” යන ප්‍රකාශය, විභාග ලකුණෙන් ඔබ්බට දරුවා දෙස බලන ලෙස කරන ප්‍රබල අධ්‍යාපනික උපමාවක් ලෙස භාවිත කිරීම වඩාත් නිවැරදිය. ඒ අනුව දරුවකු විභාගයකින් අඩු ලකුණු ලබාගත් විට “ඔයා ෆේල්” යැයි පැවසීම සරල වාක්‍යයක් වුවද, එය දරුවාගේ මනස තුළ ඉතා ගැඹුරු නිෂේධනාත්මක අර්ථයක් ජනිත කළ හැකිය. විශේෂයෙන්ම දරුවාගේ ප්‍රතිඵල සමාජ මාධ්‍ය ඔස්සේ අනෙක් දරුවන් සමඟ සසඳමින් පළ කිරීම තවත් බරපතළ තත්ත්වයකි. දරුවාගේ නම, ඡායාරූපය, ලකුණු හා පාසල සඳහන් කරමින් “අපේ දරුවාට මෙච්චරයි” යනුවෙන් ප්‍රචාරය කිරීම එක් දරුවකුට ප්‍රශංසාවක් වුවද, තවත් දරුවකුට ලැජ්ජාවක් හා මානසික පීඩනයක් විය හැකි ය.
මේ අතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) මෙන්ම ශ්‍රී ලංකාව ද දරුවන්ට බියෙන් හා ලැජ්ජාවෙන් තොරව ගෞරවයෙන් සැලකීම සහ ශාරීරික දඬුවම්වලින් තොර ධනාත්මක දෙමාපියත්වය අවධාරණය කරයි. අපේ පැරණි සමාජයේ “දරුවාට ගැහුවාම තමයි ඉගෙන ගන්නේ” යන මතයක් තිබුණි. නමුත් දරුවාගේ ඉගෙනීම හා හැසිරීම වැඩිදියුණු කිරීමට ප්රචණ්ඩත්වය භාවිත කිරීම නූතන ළමා මනෝවිද්‍යාව පිළිගන්නා ක්‍රමයක් නොවේ. UNICEF ශ්‍රී ලංකාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ නිවාස හා පාසල් පද්ධතිය තුළ ශාරීරික දඬුවම් පිළිබඳ හානිකර ආකල්ප තවමත් පවතින බවය. ඒ වෙනුවට ධනාත්මක විනය හා හැසිරීම් කළමනාකරණ ක්‍රම ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය බවද එම ආයතනය අවධාරණය කරයි. එබැවින් දරුවකු ශිෂ්‍යත්වයෙන් අඩු ලකුණු ලැබූ විට කළ යුත්තේ පහර දීම නොව, “ඇයි මේ ප්‍රතිඵලය ලැබුණේ?” යන්න සොයා බැලීමය. එහිදී දරුවාට විෂයයක් තේරුණේ නැද්ද?, විභාග භීතිය තිබුණාද?, කාල කළමනාකරණය දුර්වලද?, නින්ද ප්‍රමාණවත් නොවුණාද?, කායික වේදනා/කැක්කුම් ආදිය තිබුණාද?, වැඩිහිටියන් විසින් දරුවාගේ මනසට පටවන ලද අධික අපේක්ෂා නිසා දරුවා ආතතියට පත්වුණාද? එසේත් නැත්නම් ඔහුගේ හෝ ඇයගේ සැබෑ ශක්තිය වෙනත් ක්ෂේත්රයකද? ආදී බහුවිධ තර්ක වැඩිහිටි මනසෙහි ගොනු විය යුතුය.එමෙන්ම කුස පිරෙන ලෙස කිරි බත් වැනි කාබෝහයිඩ්රේට් බහුල ආහාරයක් ගැනීමෙන් ආහාරයෙන් පසු තාවකාලික නිදිමතක් ඇති විය හැකි අතර එය ද විභාගය සම්බන්ධයෙන් කිසියම් බලපෑමක් කළ හැකි බව අප ගේ වැටහීම ය.
මෙයින් අදහස් කරන්නේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ වැනි විභාග අනවශ්‍ය බව නොවේ. ප්‍රමිතිගත විභාගවලට අධ්‍යාපන පද්ධතිය තුළ වැදගත් කාර්යයක් තිබේ. ඒවා යම් නිශ්චිත දැනුම හා කුසලතා මට්ටම් සංසන්දනය කිරීමට, තේරීම් කිරීමට සහ අධ්‍යාපනික අවස්ථා ලබාදීමට උපකාරී වේ. ප්රශ්නය ඇත්තේ විභාගය තිබීම නොව, එහි ප්‍රතිඵලයට අප ලබාදෙන අර්ථයයි.
ලකුණු 180ක් ලබාගත් දරුවා “අපේක්ෂිත මට්ටමට පැමිණි ශිෂ්‍යයෙකි” යනුවෙන් හඳුනාගත හැකිය. එහෙත් ලකුණු 100ක් ලබාගත් දරුවා “අසාර්ථක මිනිසෙකි” යනුවෙන් කෙසේවත් හඳුනාගත නොහැකිය. එම වෙනස අපේ සමාජය ඉගෙන ගත යුතුය. දරුවාගේ අනාගතය තීරණය කරන්නේ එක ප්‍රශ්න පත්‍රයක් මඟින් නොවේ. අද දරුවකුට ගණිතය දුෂ්කර විය හැකිය. හෙට ඔහු විශිෂ්ට ඉංජිනේරුවකු විය හැකිය. අද දරුවකුට භාෂා විෂයයක අඩු ලකුණු තිබිය හැකිය. හෙට ඔහු විශිෂ්ට කලාකරුවකු, ව්‍යාපාරිකයකු හෝ තාක්ෂණවේදියකු විය හැකිය. අද දරුවකුට කටපාඩම් කළ යුතු පොතේ පිළිතුර මතක තබා ගැනීම දුෂ්කර විය හැකිය. එහෙත් යන්ත්‍රයක් ගලවා නැවත සවි කිරීමට, සංගීතයක් නිර්මාණය කිරීමට, මිනිසුන් සමඟ සම්බන්ධ වීමට හෝ නව අදහසක් ඉදිරිපත් කිරීමට ඔහුට අසාමාන්‍ය හැකියාවක් තිබිය හැකිය. අධ්‍යාපනයේ සැබෑ අරමුණ වන්නේ දරුවා තුළ පවතින එවැනි හැකියාවන් නිවැරදිව සොයා ගැනීමය.ඒ අනුව ශිෂ්‍යත්ව ප්‍රතිඵලය අතට ගත් මේ මොහොතේ අප සෑම වැඩිහිටියකුම තමන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම් “මගේ දරුවා කොපමණ ලකුණු ලබාගත්තාද?” යන්නට වඩා “මගේ දරුවා තුළ තවමත් අප සොයා නොගත් හැකියාව කුමක්ද?” යන්නය.
රීටා ජෙනට් පෙරේරා


