පාර්ලිමේන්තු නිලධාරිනියට සිදුවූ හිංසනයට තවමත් සාධාරණයක් නෑ

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ හිංසනය සම්බන්ධයෙන් එහි පරිපාලනය තවමත් සාධාරණය ඉටුකර නොමැති බවත්, එය ඉතාම කණගාටුදායක කරුණක් බවත් පවසමින් ඉන් සිත් තැවුලට පත් පාර්ලිමේන්තු සේවකයින් පිරිසක් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව විසින් සිය අවසන් වාර්තාව මඟින් අදාළ නිලධාරිනිය විවිධ වාචික හිංසන, අඩන්තේට්ටම් සහ වෙනස් කොට සැලකීම්වලට ලක්ව ඇති බව පැහැදිලිවම තහවුරු කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ. එමෙන්ම ඒ වෙනුවෙන් ප්‍රධාන නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරමින් ඇයට සාධාරණය සහ යුක්තිය ඉටු කරන ලෙසද එම කමිටුව පාර්ලිමේන්තු පරිපාලනයට දන්වා තිබූ බව වාර්තා වෙයි.මෙම විමර්ශන වාර්තාව කතානායකවරයා වෙත බාරදී මාස හයකට වැඩි කාලයක් ගතව තිබුණද, එහි අඩංගු නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු පරිපාලනය මෙතෙක් පියවර ගෙන නොමැති බව සේවකයෝ පෙන්වා දෙති.
හිටපු මහාධිකරණ විනිසුරුවරියක ලබාදුන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පසෙක තබා, එහි ඇති කරුණු සම්බන්ධයෙන් නැවත වරක් පාර්ලිමේන්තු නිලධාරිනියක ලවා වාර්තාවක් කැඳවීමට පරිපාලනය කටයුතු කර ඇතැයිද, එය වෙනත් යටි අරමුණකින් කරන ලද්දක් බවද ඔවුහු චෝදනා කරති. මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් අදාල නිලධාරිනියට සාධාරණය ඉටුවීම තවදුරටත් ප්‍රේරණය වන බව සේවකයින්ගේ අදහසයි.මෙම ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, පාර්ලිමේන්තු නිලධාරිනියකට සිදුවූ මෙම හිංසනය සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද මුල සිටම නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බවයි.විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ගණනාවක් මඟින් ද මේ පිළිබඳව දිගින් දිගටම කරුණු අනාවරණය කර තිබියදීත් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටුව නොමැති බැවින්, මෙම ගැටලුවට වහාම මැදිහත් වී ඇයට යුක්තිය ඉටුකර දීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු සේවකයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

කාලීන පුවත්