යක්ෂ රාජ වජ්‍රපාණි දෙන සමාජමය පණිවිඩය කුමක් ද? ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

යක්ෂ රාජ වජ්‍රපාණි කියන්නේ කාටද?

එදිනෙදා ජන ජීවිතයට බලපාන දහසකුත් එකක් ප්‍රශ්න තිබියදී, මේ දිනවල කඩපිල්වලදී පවා බොහෝ දෙනා නඟන පැනය මෙයයි. ඊට හේතුව, “යක්ෂ රාජ වජ්‍රපාණි” යනුවෙන් හැඳින්වෙන වස්කවියක් ලෙස ප්‍රකට ගීතයක් මේ වන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබීමයි. එබැවින් එම වස්කවිය පසෙක තබා, පළමුව “වජ්‍රපාණි යනු කවරෙක් ද?” යන්නට පිළිතුරු දීම වඩාත් සුදුසු යැයි සිතමි.

වජ්‍රපාණි යනු බෞද්ධ ආගමික හා කලා සම්ප්‍රදායන්හි දක්නට ලැබෙන නාමයකි. සංස්කෘත භාෂාවේ ‘වජ්‍ර’ යන්නෙන් දියමන්තිය හෝ වජ්‍රායුධය ද, ‘පාණි’ යන්නෙන් අත ද අදහස් කෙරේ. එබැවින් එහි සාමාන්‍ය අර්ථය “වජ්‍රය අතෙහි දරන්නා” යන්නයි.

විශේෂයෙන් මහායාන බුදුදහමේදී ඔහු බෝධිසත්ත්වවරයකු ලෙස බුද්ධත්වයේ බලය හා ආරක්ෂාව නිරූපණය කරන ප්‍රබල රූපයකි. විවිධ සම්ප්‍රදායන්හි ඔහුගේ ස්වරූපය හා කාර්යභාරය වෙනස් විය හැකි ය. එබැවින් නාමය ඇසූ පමණින් ඔහු යක්ෂයකු හෝ අහිතකර බලවේගයක් ලෙස හැඳින්වීම නිවැරදි නොවේ. ඒ පිළිබඳ පසුබිම් කතාව, සම්ප්‍රදාය සහ සංස්කෘතික භාවිතය තුළ විමසා බැලිය යුතුය. කෙසේ වෙතත්, වජ්‍රපාණි යන නාමයෙන් ශක්‍රයා හැඳින්වෙන අවස්ථා ද තිබේ.

යම් ජනප්‍රවාදයක් වජ්‍රපාණි නාමය වස්කවි, ගුප්ත ක්‍රියා හෝ අද්භූත බලයන් සමඟ සම්බන්ධ කරන්නේ නම්, එය එම විශේෂ භාවිතයට අදාළ විශ්වාසයක් ලෙස පමණි. ඒ අනුව එහි උචිත අනුචිත බව අපට නිශ්චය කළ නොහැකිය.

වස්කවි, සෙත්කවි සහ හූනියම් පිළිබඳ කතාබහ ශ්‍රී ලාංකේය ජනසමාජයට අලුත් දෙයක් නොවේ. සිංහල ජනසම්ප්‍රදාය තුළ කවිය විනෝදාස්වාදය, හැඟීම් ප්‍රකාශනය, ආගමික භක්තිය සහ සමාජ සන්නිවේදනය සඳහා භාවිත වූ සාහිත්‍ය මාධ්‍යයකි.

එහි ප්‍රවර්ග දෙකක් ලෙස සෙත්කවි සහ වස්කවි නම් කළ හැකිය.

සෙත්කවි යනු යම් පුද්ගලයකුට සෙත, සුවය, ආරක්ෂාව හෝ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් රචනා කරන කවි වන අතර, වස්කවි යනු යම් පුද්ගලයකුට අහිතකර ප්‍රතිඵල ඇති කිරීමේ හෝ ඔහුගේ ක්‍රියාකාරකම්වලට නිශේධනාත්මක බලපෑම් කිරීමේ අරමුණින් රචනා කරන බවට විශ්වාස කෙරෙන කාව්‍ය විශේෂයකි.

සමාජ මානව විද්‍යා විෂයපථයන් තුළ මෙම වර්ගීකරණය තේරුම් ගත යුත්තේ ජනසම්ප්‍රදාය තුළ ඒවාට පවරා ඇති අරමුණු අනුව මිස, ඒවා සතුව අද්භූත බලයක් ඇති බව සනාථ වී තිබෙන නිසා නොවේ. එසේම, වස්කවි සම්බන්ධ සියලු ජනප්‍රවාද ඓතිහාසිකව තහවුරු වූ සිදුවීම් ලෙස සැලකීම ද සුදුසු නැත. ඒවා පරම්පරාවෙන් පැවත එන කතා හෝ පසුකාලීනව නිර්මාණය වී වෙනස් වූ කතා විය හැකිය. එමෙන්ම විවිධ සමාජමය සංසිද්ධීන් පිළිබඳ සංකේත නිරූපණයන් විය හැකිය. එනිසා මේ කිසිවක් සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රය තුළ දී නොවැදගත් සාධක ලෙස ඉවත හෙළිය නොහැක.

වස්කවි පිළිබඳව නිතර කතාබහට ලක්වන්නේ ඒවායේ අක්ෂර, මාත්‍රා, ගණ සහ උච්චාරණ රටා ය. මේවා තේරුම් ගැනීමට ඡන්දස් ශාස්ත්‍රය වැදගත් වේ. ඡන්දස් ශාස්ත්‍රය යනු කාව්‍යයක රිද්මය හා ව්‍යුහය අධ්‍යයනය කරන විෂයයි. එහිදී අක්ෂර, ලඝු-ගුරු මාත්‍රා, අක්ෂර සංයෝජන සහ වෘත්ත රටා සැලකිල්ලට ගැනේ. මේවා කවියේ ශ්‍රව්‍ය රසය, ගායනා කිරීමේ පහසුව සහ රිද්මයානුකූල බව ගොඩනඟයි.

මෙහිදී කරුණු දෙකක් වෙන්කර හඳුනාගත යුතු ය.

ඉන් පළමුවැන්න, කවියක ශබ්ද රටාව මිනිස් මනසට කළ හැකි බලපෑමයි. රිද්මයානුකූල ශබ්ද, නැවත නැවත ඇසෙන වචන සහ ගායනය මිනිසුන්ගේ අවධානය, හැඟීම් සහ මනෝභාවයට බලපෑ හැකිය. ලොව පුරා ආගමික පාඨ පුනරුච්ඡාරණය කෙරෙන සේම අප සමාජයේ මන්ත්‍ර 108 වරක් මැතිරිය යුතු යැයි පැවසෙන්නේ ද මෙවැනි මනැසේ ප්‍රතිචක්‍රීකරණ භාවිතයන් පවතින සංස්කෘතික පසුබිම තුළය.

දෙවැන්න, එම ශබ්ද රටාවට අද්භූත බලයක් ඇති බවට කරන ප්‍රකාශයයි. ශබ්ද රටාවකට මනසට බලපෑම් කළ හැකි වුවත්, එමඟින් දුරස්ථව සිටින පුද්ගලයකුට අද්භූත ආකාරයකින් හානි කළ හැකි බව නවීන විද්‍යාත්මකව නිගමනය කළ නොහැකි ය. එබැවින් ශාස්ත්‍රීය දැනුම සහ ගුප්ත විශ්වාස වෙන්කර විමසා බැලිය යුතුය. ඉහත සඳහන් “යක්ෂ රාජ වජ්‍රපාණි” ගීතය මේ වන විට ජනප්‍රිය සංස්කෘතිය තුළට පිවිස ඇත්තේ ද එවැනි පසුබිමක ය. ඒ අනුව වස්කවිය යනු පැරණි සමාජයීය භාවිතයක් නොවන බව පෙනේ.

වස්කවි සම්බන්ධ ජනප්‍රවාද අතර, රචනයේදී වරදක් සිදුවුවහොත් එහි අහිතකර බලය රචකයා වෙතම ආපසු හැරෙන බවට විශ්වාසයක් පවතී. මෙය ඉංග්‍රීසි භාෂාවේ “බැක්ෆයර් එෆෙක්ට්” (Backfire effect) යන අදහසට සමාන කර දැක්විය හැකි නමුත්, සංකල්ප දෙක සෑම විටම එකම අර්ථයක් නොදරයි.

මෙවැනි විශ්වාසවලට සංස්කෘතික හා මනෝවිද්‍යාත්මක පැතිකඩක් ඇත. අදාළ ක්‍රියාව අනතුරුදායක බව විශ්වාස කරන පුද්ගලයකු තුළ සැකය, වරදකාරී හැඟීම හෝ බිය ඇති විය හැකිය. පසුව ඔහුට මුහුණ දීමට සිදුවන අහිතකර සිදුවීම් එම ක්‍රියාවට සම්බන්ධ කර අර්ථකථනය කිරීමට ද ඉඩ ඇත. මෙය විද්‍යාවේදී “පසු සිදුවීම පෙර සිදුවීමේ අහේතුක ප්‍රතිඵලයක් (Post hoc ergo propter hoc) ලෙස සැලකීම” යනුවෙන් හැඳින්වෙන තාර්කික දෝෂයට සමාන වේ. එහෙත් අක්ෂර හෝ ගණ දෝෂයක් නිසා යම් අද්භූත බලයක් ආපසු හැරෙන බවට නවීන විද්‍යාත්මක සාක්ෂි නොමැත.

වස්කවි පිළිබඳ සංවාදයේ වැදගත්ම සමාජ-මනෝවිද්‍යාත්මක පැතිකඩ වන්නේ බියයි. මිනිස් මොළය යම් සිදුවීමක් අර්ථකථනය කිරීමේදී පරිසරයෙන් ලැබෙන තොරතුරු පමණක් නොව, පෙර අත්දැකීම්, අපේක්ෂා, විශ්වාස සහ සමාජයෙන් ලැබෙන පණිවිඩ ද සැලකිල්ලට ගනී. ඒ අනුව යමක් භයානක හෝ අනතුරුදායක බවට දැඩි විශ්වාසයක් ඇති විට, සාමාන්‍ය සිදුවීම් පවා එම විශ්වාසය තහවුරු කරන සාක්ෂි ලෙස පෙනී යා හැකි ය.

උදාහරණයක් ලෙස, තමන්ට වස්කවියක් කර ඇති බව විශ්වාස කරන පුද්ගලයකුට හිසරදයක් ඇති වුවහොත්, එය සාමාන්‍ය හේතුවක් නිසා ඇති වූවක් ලෙස නොව, වස්කවියේ ප්‍රතිඵලයක් ලෙස පෙනී යා හැකිය. නින්ද නොයාම සහ හෘද ස්පන්දනය වේගවත් වීම වැනි තත්ත්ව ද එම විශ්වාසයට සම්බන්ධ කරගත හැකිය. බිය සහ අපේක්ෂාව ශරීරයට බලපාන ආකාරය පිළිබඳ අධ්‍යයනවලින් ද මෙවැනි අත්දැකීම් තේරුම් ගැනීමට උපකාරී වේ. එහෙත් බිය නිසා මරණය සිදුවිය හැකි බවට සාමාන්‍ය නිගමනයකට එළඹීම සුදුසු නැත. ඇතැම් විද්වත් සාකච්ඡාවලදී වූඩූ ආශ්‍රිත සංස්කෘතික විශ්වාස (Voodoo culture) ද මෙවැනි බිය හා මනෝශාරීරික ප්‍රතිචාර පිළිබඳ නිදසුන් ලෙස ඉදිරිපත් කර තිබේ.

මෙයට සම්බන්ධ වැදගත් සංකල්පයක් වන්නේ අසංතුෂ්ටික බලපෑම (Nocebo effect) ය. යම් දෙයක් තමන්ට හානිකර වනු ඇතැයි අපේක්ෂා කිරීම නිසා අහිතකර ලක්ෂණ අත්විඳීම මෙම සංකල්පය මඟින් විස්තර වේ. මෙය තුෂ්ටික බලපෑමේ (Placebo effect) ප්‍රතිවිරුද්ධ තත්ත්වය ලෙස සාමාන්‍යයෙන් විස්තර කෙරේ.

යම් පුද්ගලයකු තුළ බිය හෝ දැඩි ආතතිය ඇති වූ විට ශරීරයේ ආතති ප්‍රතිචාර පද්ධති ක්‍රියාත්මක වේ. හෘද ස්පන්දනය වේගවත් වීම, දහඩිය දැමීම, මාංශපේශී තද වීම, නින්දට බාධා ඇති වීම සහ අවධානය වෙනස් වීම වැනි ප්‍රතිචාර ඇති විය හැකිය. මේ සඳහා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය, ඇඩ්‍රිනලින් සහ දිගුකාලීන ආතතියේදී කෝටිසෝල් වැනි හෝමෝන ද සම්බන්ධ වන බව අනාවරණය වී තිබේ. තමන්ට අද්භූත බලයකින් හානි සිදුවන බව විශ්වාස කරන විට, එම බිය පුද්ගලයාගේ නින්දට, දෛනික කටයුතුවලට හා මානසික සුවතාවට බලපායි. පසුව ඇතිවන අපහසුතා නැවත මුල් විශ්වාසයට සාක්ෂි ලෙස සැලකීමෙන් බිය තවදුරටත් වර්ධනය විය හැකිය. එබැවින් වස් කවියක අද්භූත බලයක් විද්‍යාත්මකව පිළිගැනීමට අවශ්‍ය නොවී වුවද, එවැනි විශ්වාසයක් දැරීම නිසා ඇතිවන බිය පුද්ගල ජීවිතයට සැබෑ බලපෑමක් කළ හැකි බව තේරුම් ගත යුතු ය. එවැනි පීඩාවකට පත්ව සිටින අයකුට අපහාස කිරීම හෝ ඔහුගේ බිය හාස්‍යයට ලක් කිරීම වෙනුවට, එම බිය ඇති වූ ආකාරය තේරුම් ගැනීමත්, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය හෝ මානසික සෞඛ්‍ය සහාය ලබා ගැනීමට මඟ පෙන්වීමත් වැදගත් වේ.

මිනිසා ස්වභාවයෙන්ම ජීවිතයේ සිදුවීම් අතර සම්බන්ධතා සොයයි. වස්කවි කතාවක් ඇසීමෙන් පසු රැකියාව අහිමි වුවහොත්, පුද්ගලයා ඒ සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධ යැයි සිතිය හැකිය. එහෙත් රැකියාව අහිමි වීමට ආයතනයේ ආර්ථික තත්ත්වය, කළමනාකරණ තීරණ වැනි වෙනත් හේතු තිබිය හැකිය. සිදුවීම් දෙකක් එකම කාලයක සිදුවීමෙන් එකක් අනෙකට හේතුවක් වූ බව තහවුරු නොවේ.

මෙහිදී තමන් දැනටමත් දරන විශ්වාසයට අනුබල දෙන තොරතුරු වැඩි වශයෙන් පිළිගැනීමේ ප්‍රවණතාව (Confirmation bias) වැදගත් වේ. දැඩි විශ්වාසයක් දරන පුද්ගලයකු එම විශ්වාසයට ගැළපෙන සිදුවීම් මතකයේ රඳවාගෙන, ඊට නොගැළපෙන සිදුවීම් නොසලකා හැරීමට ඉඩ ඇත. එය ඇතැම් විට ලිපිගොනු සහ ලාච්චු සාධකය (File-drawer problem) සමඟ සසඳා දැක්විය හැකි වුවත්, මෙම සංකල්ප දෙකේ අර්ථය සම්පූර්ණයෙන්ම එක සමාන නොවේ.

තවද, බිය උපදවන කතා සාමාන්‍ය තොරතුරුවලට වඩා ඉක්මනින් අවධානය දිනා ගනී. සමාජ මාධ්‍ය තුළ අසාමාන්‍ය, භයානක හෝ අද්භූත බවක් පෙනෙන තොරතුරු නැවත නැවත බෙදාහරින විට, එවැනි සිදුවීම් ඉතා සුලභ බවට හැඟීමක් ඇති විය හැකිය. එහෙත් කතාවක් බොහෝ දෙනා අතර ප්‍රචලිත වීමෙන් පමණක් එහි සත්‍යතාව තහවුරු නොවේ. එහි මූලාශ්‍රය, තහවුරු කළ හැකි සාක්ෂි සහ විකල්ප පැහැදිලි කිරීම් විමසා බැලිය යුතුය.

ගුප්ත විශ්වාස පෞද්ගලික අත්දැකීම්වලට පමණක් සීමා නොවේ. ඒවා සංස්කෘතික පසුබිම, පවුල් සම්ප්‍රදායන්, ආගමික අදහස්, ජනප්‍රවාද සහ තොරතුරු හුවමාරු වන ආකාරය සමඟ සම්බන්ධ වේ.

ජීවිතයේ අහිතකර සිදුවීමකට පැහැදිලි හේතුවක් සොයාගත නොහැකි විට, ඇතැම්හු එයට අද්භූත හේතුවක් සම්බන්ධ කිරීමට පෙළඹෙති. එමඟින් සිදුවීමට පැහැදිලි කිරීමක් ලැබුණු බවට හැඟීමක් ඇති වන අතර, පාලනය කළ නොහැකි තත්ත්වයන් හමුවේ මානසික අර්ථයක් ද ලබාගත හැකිය.

ආර්ථික පීඩනය, සමාජ ගැටුම් සහ අනාගත අවිනිශ්චිත භාවය ගුප්ත විශ්වාස සමාජය පුරා පැතිර යාමට බලපෑ හැකි බව කාලීන සිදුවීම් මඟින් මනාව අනාවරණය කර ගත හැකි අතර කිසියම් සමාජයක ගුප්ත විශ්වාස පැතිර යාම සහ තත් කාලීන සමාජ අස්ථායී භාවය (Social instability) වෙනම සාකච්ඡාවකට බඳුන් කළ යුතු විෂය පථයකි.

එසේම, පරම්පරාවෙන් ලැබුණු සෑම ජනවිශ්වාසයක්ම අර්ථ විරහිත හෝ හානිකර යැයි සැලකීම ද නිවැරදි නැත. ජනවිශ්වාස ප්‍රජා අනන්‍යතාව, සංස්කෘතික මතකය සහ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාමේ කොටසකි. ගැටලුව පැන නඟින්නේ ඒවා පරීක්ෂා කළ හැකි කරුණු ලෙස නොව, ප්‍රශ්න කළ නොහැකි සත්‍යයන් ලෙස පිළිගැනීමෙන් හෝ ඒවා පදනම් කරගෙන අන් අයට හානි කිරීමෙනි.

මෙම වස් කවි බෞද්ධ විනයට අනුව භික්ෂූන්ට මුළුමනින්ම අකැප බව ඒ පිළිබඳ ප්‍රකට මතයයි. නමුත් බුදුදහම පදනම් කොටගත් බුදුසමය කාලානුරූපී සහ දේශානුරූපී වෙනස්කම් පළ කරන බව ප්‍රසිද්ධ කරුණකි. අතීතයේ ගමේ පන්සල යනු ගැමි ජනතාවගේ ආගමික, සමාජයීය හා සංස්කෘතික බලකේන්ද්‍රය වූ බව අපි කවුරුත් දනිමු. ඒ අනුව අප රටේ පොලිස් සේවය ව්‍යාප්ත වීමට පෙර ගම් මට්ටමින් අපරාධ නිවාරණ කටයුතු ද භික්ෂූන් විසින් සිදු කරන ලද බව පැහැදිලිය. ඒ අනුව ගම් මට්ටමින් සොරකම් ඇතුළු වෙනත් අපරාධ ගණයේ ක්‍රියා මැඬලීම පිණිස ගමේ පන්සලේ හාමුදුරුවන්ට වස්කවිය නම් අවිය අතට ගන්නට සිදු වූ බව අප රටේ බුදුසමයේ ප්‍රාදේශීය විෂමතා පිළිබඳව විමසීමේදී පෙනී යයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු වන සුනිල් කන්නන්ගරයන් ලියූ “යක්ෂයන් එලවන ආටානාටියට අනුව ලියැවුණු වස්කවිය” නම් ලිපිය ඊට එක් නිදසුනක් පමණි.

වස්කවියක් පිළිබඳ සමාජයේ කතාබහක් ඇති වූ විට, එය වාර්තා කිරීමේ අයිතිය මෙන්ම වගකීමක් ද මාධ්‍යකරුවන්ට ඇත. නමුත් තොරතුරක් වාර්තා කිරීම සහ එහි අද්භූත බලයක් ඇතැයි තහවුරු කිරීම අතර පැහැදිලි වෙනසක් තිබිය යුතු ය.

පුද්ගලයකු වස්කවියක් නිසා තමන්ට හානි වූ බව පවසන්නේ නම්, එය ඔහුගේ ප්‍රකාශයක් ලෙස වාර්තා කළ හැකිය. එහෙත් ස්වාධීන සාක්ෂි නොමැතිව වස්කවිය එයට හේතුව බව නිශ්චිතව ප්‍රකාශ කිරීම වගකීම් සහගත මාධ්‍ය භාවිතයක් නොවේ.

සමාජ මාධ්‍ය තුළ තහවුරු නොකළ තොරතුරුවලට බියජනක මාතෘකා යෙදීමෙන් අනවශ්‍ය බිය වැඩි විය හැකිය. එසේම, කිසිදු සාක්ෂියක් නොමැතිව පුද්ගලයකුට හෝ පවුලකට වස්කවි හෝ හූනියම් කරන බවට චෝදනා කිරීමෙන් ඔවුන්ගේ කීර්තිනාමයට හා ආරක්ෂාවට හානි සිදුවිය හැකිය. එබැවින් මූලාශ්‍ර තහවුරු කිරීම, ජනප්‍රවාද හා ඓතිහාසික කරුණු වෙන්කර දැක්වීම සහ විද්‍යාත්මක සාක්ෂි නොමැති ප්‍රකාශ එසේ බව සඳහන් කරමින් කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

වජ්‍රපාණි, සෙත්කවි සහ වස්කවි යන සංකල්ප ආගමික සම්ප්‍රදායන්, ජනවිශ්වාස, සිංහල කාව්‍ය සංස්කෘතිය සහ සමාජ මනෝවිද්‍යාව සමඟ විවිධ ආකාරයෙන් සම්බන්ධ වේ. ඒවා නිසි ලෙස අවබෝධ කර ගැනීමට ඓතිහාසික කරුණු, සාහිත්‍යමය ලක්ෂණ, ජනප්‍රවාද සහ විද්‍යාත්මකව තහවුරු කළ දැනුම වෙන්කර හඳුනාගැනීම වැදගත්ය. වස්කවියකින් අද්භූත බලයක් මඟින් හානි කළ හැකි බවට විශ්වාසයක් පැවතිය හැකි නමුත්, එය සනාථ කරන විශ්වාසදායක විද්‍යාත්මක සාක්ෂි නොමැත. නමුත් එවැනි විශ්වාසයක් නිසා ඇතිවන බිය, ආතතිය සහ මානසික පීඩනය සැබෑ විය හැකිය. එබැවින් සංවාදය අද්භූත බලය පිළිබඳ ප්‍රකාශවලට පමණක් සීමා නොවී, එම විශ්වාස මිනිස් මනසට බලපාන ආකාරය ද සැලකිල්ලට ගත යුතුය. යම් විශ්වාසයක් පිළිබඳව ප්‍රශ්න කිරීම යනු එය දරන පුද්ගලයාට අපහාස කිරීමක් නොවේ. එය විශ්වාසය හා සාක්ෂිය අතර වෙනස හඳුනාගැනීමට උපකාර කිරීමකි. සංස්කෘතික උරුමයේ ගෞරවය රැකගනිමින්, තොරතුරු විචාරශීලීව පරීක්ෂා කිරීමත්, බිය පදනම් කරගත් අසාධාරණ චෝදනා සහ ක්‍රියාවලින් වැළකීමත් නූතන සමාජයක වැදගත් වගකීමකි. ඉහත සඳහන් වස්කවියේ කියැවෙන යක්ෂ රාජ වජ්‍රපාණි දෙන සමාජමය පණිවිඩය එයයි.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

උරුමයක අසිරිය