රජුන් පිදූ පූජනීය උරුමයට රත්තරන් කිලෝවලින් මිල නියම කළ හැකිද? වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින කරඬුවක් යනු රන්, රිදී, මැණික් හෝ ශිල්පීය අලංකාරයෙන් පමණක් තක්සේරු කළ හැකි වස්තුවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඉතිහාසය, බෞද්ධ ආගමික සම්ප්‍රදාය, කන්ද උඩරට රාජධානියේ උරුමය සහ ජනතා භක්තිය එකට බැඳ තබන සංස්කෘතික සාක්ෂියකි.

ශ්‍රී ලාංකේය සංස්කෘතික දේහයේ ආත්මය මෙන්ම අභිමානය වන්නේ අනුත්තර වූ ශ්‍රී දන්තධාතූන් වහන්සේය. පුරා සියවස් ගණනාවක් තිස්සේ මේ පූජනීය වාම දළදා වහන්සේ යනු හුදෙක් සද්ධාසම්පන්න බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ පමණක් නොවේ; එය මේ පුංචි දිවයිනේ රාජ්‍යත්වයේ, රාජ්‍ය පරමාධිපත්‍යයේ සහ ජාතික අයිතියේ අසහාය සංකේතයයි. දළදා සමිඳුන් තැන්පත් කර තිබෙන උතුම් වූ ස්වර්ණමය හා රත්නමය කරඬු පෙළගැස්ම දෙස බලන ඕනෑම අයෙකුට සිතෙන්නේ, ඒ එක එක කරඬුවක් පිටුපස අපේ පෞරාණික රජවරුන්ගේ ලෙයින්, කඳුළින් හා අපරිමිත භක්තියෙන් ලියැවුණු මහා ඉතිහාසයක් ඇති බවයි.

දළදා වහන්සේ: ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංකේතය සහ ජාතික උරුමය

බෞද්ධ සම්ප්‍රදායට අනුව, බුදුන් වහන්සේගේ වාම දළදා ධාතුව හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කරවන ලදී. එය රජුගේ ආරක්ෂාව යටතේ තැබීම රාජ්‍ය සම්ප්‍රදායක් බවට පත්විය. දළදා ධාතුව යම් රාජධානියක පැවතීම එම රජුගේ අධිපත්‍යයේ සහ බෞද්ධ රාජ්‍ය ආරක්ෂාවේ සංකේතයක් ලෙස සැලකුණි. කන්ද උඩරට රාජධානියේ සිට අද දක්වා පැමිණි මෙම සම්ප්‍රදාය නිසා දළදා වහන්සේ ආගමික වස්තුවක් පමණක් නොව, ජාතික ඉතිහාසයේ ජීවමාන මධ්‍යස්ථානයක්ද වී ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් අඩවිය පවසන්නේ එය ගෞතම බුදුන් වහන්සේගේ වාම දළදා ධාතුව තැන්පත් කර ඇති ලෝක ප්‍රකට වන්දනා ස්ථානයක් බවත්, 1988 සිට යුනෙස්කෝ ලෝක උරුමයක් බවත්ය. එම පරිශ්‍රයට කන්ද උඩරට වාස්තු විද්‍යාව, රන්, රිදී, ලෝකඩ සහ ඇත්දළ කැටයම්, පැරණි රජමාලිගා පරිසරය සහ පූජා සම්ප්‍රදාය එකට අයත් වේ. ඒ නිසා දළදා කරඬුවේ වටිනාකම රන් බරෙන් මැනීම මූලික වැරැද්දකි. පැරණි කරඬුවේ වටිනාකම එහි රිදී ප්‍රමාණයෙන් හෝ රන් ආලේපයේ වෙළෙඳපොළ මිලෙන් නොව, එය සෑදූ රාජකීය පරිසරයෙන්, භාවිත වූ චාරිත්‍රයෙන්, පරම්පරා ගණනාවක් එය වටා ගොඩනැඟුණු මතකයෙන් සහ දළදා වහන්සේගේ ආරක්ෂක ඉතිහාසයේ එයට හිමි ස්ථානයෙන් තීරණය වේ.

නමුත් අවාසනාවකට මෙන්, මෑතකදී දළදා කරඬුව පිළිබඳව ඇසුණ පුවත ඇස් කන් අදහාගත හැකි එකක් නොවීය. එනම්, සෙන්කඩගල පුරවරයේ ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන ආසනයේ වැඩසිටි, වසර 250කට වඩා පැරණි, අතිජාතික වටිනාකමකින් යුත් ඓතිහාසික රාජකීය බාහිර කරඬුව කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ නෛතික අනුමැතියකින් තොරව ඉවත් කර, ඒ වෙනුවට වර්තමාන ව්‍යාපාරිකයෙකු විසින් පූජා කරන ලදැයි කියන අලුත් රත්තරන් කරඬුවක් ආදේශ කිරීමයි.

2026 සැප්තැම්බර් 8 වැනිදා ශ්‍රී දළදා මාලිගාවට නව රන් කරඬුවක් පූජා කළ බවත්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවක් අනුව එහි සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04ක්, රන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 65.224ක් සහ මැණික් කිලෝග්‍රෑම් 1.480ක් බවත් මාධ්‍ය වාර්තා කර ඇත. එම පූජාව මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන්, දියවඩන නිලමේ සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ සහභාගිත්වයෙන් සිදු වූ බවද වාර්තා වී තිබේ.

රජතුමාගේ පරිත්‍යාගයට ඉහළින් ව්‍යාපාරිකයා තැබූ විකාරරූපී නිර්ණායකය කුමක්ද?

වර්තමානයේ වැඩසිටින බාහිරතම ඓතිහාසික මහ කරඬුව යනු සාමාන්‍ය රත්තරන් හෝ රිදී භාජනයක් නොවේ. ක්‍රි.ව. 1687–1707 කාලයේ රාජ්‍ය කළ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් කරවා, පසුව උඩරට රාජධානිය රක්ෂා කළ අභීත නරපතියෙකු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1747–1782) විසින් ස්වර්ණාලේපිත කර, සුවිශේෂී රත්නයන් ඔබ්බවා පූජා කරන ලද ඓතිහාසික මහා උරුමයකි. එය වසර 250කට වඩා පැරණි, ශ්‍රී ලංකා රාජ්‍යයේ එවක රාජ නායකයා විසින් ජාතිය වෙනුවෙන් දළදා සමිඳුන්ට පූජා කරන ලද පරම පූජනීය ස්මාරකයකි.

මෙතැනදී නැගෙන අතිශය තර්කානුකූල හා සාධාරණ ප්‍රශ්නය වන්නේ මෙයයි: යම් පුද්ගලයෙකු රත්තරන් කිලෝ 65ක් සහ මැණික් ගල් ටිකක් දුන් පමණින්, රජ කෙනෙකු විසින් පූජා කරන ලද ජාතික උරුමයක් ඉවත් කර ඒ තැනට එම පෞද්ගලික පරිත්‍යාගය ආදේශ කිරීමට තීරණය කළේ කෙසේද?

අලුත් කරඬුව යොදාගත්තේ එහි ඇති රත්තරන් හා මැණික්වල අමු මූල්‍යමය වටිනාකම මැන බලලා නම්, හෙට දිනයේ මීට වඩා රත්තරන් කිලෝ ප්‍රමාණයක් අරන් එන වෙනත් දේශීය හෝ විදේශීය ව්‍යාපාරිකයෙකුට, නැතහොත් වෙනත් විදේශීය රාජ්‍යයකට, අද තැන්පත් කළ නව කරඬුවත් විසි කර දමා තමන්ගේ කරඬුව එතන තැබිය හැකියි නේද? භෞතික වටිනාකම මත පමණක් පූජනීය වස්තූන් මැනීම බුදුදහමේ සංකල්පවලට පමණක් නොව, සාමාන්‍ය මිනිස් බුද්ධියටත් අමුඅමුවේ කරන නින්දාවකි. රාජ්‍ය නායකයෙකුගේ ඓතිහාසික පරිත්‍යාගයක් පෞද්ගලික ව්‍යාපාරිකයෙකුගේ ධනය හමුවේ පහතට හෙලීමට තරම් අපේ භාරකරුවන් සිතූ මන්දගාමී නිර්ණායකය කුමක්ද?

සියල්ල අතහැර නිවන් පසක් කළ තථාගතයන් වහන්සේ උදෙසා කෙරෙන පූජාවන්හි ශ්‍රද්ධාව තිබිය යුතු බව ඇත්තකි. නමුත් ශ්‍රද්ධාව යනු ඓතිහාසික උරුමය විනාශ කරමින් ධනය ප්‍රදර්ශනය කිරීම නොවේ.

දළදා කරඬුවල සහ යතුරේ භාරකාරත්වයේ ඇත්ත කතාව

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින අභ්‍යන්තර හා බාහිර කරඬු හත (7) අතුරින් ඇතුළතම කරඬුව හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් වැඩමවූ මුල් කරඬුවයි. බාහිරතම කරඬුව ඉහත සඳහන් කළ රජවරුන්ගේ පරිත්‍යාගයයි.

මෙහි යතුර පවතින්නේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා සතුවය. නමුත් නීතිය සහ ශාසනික සම්ප්‍රදාය හමුවේ මොවුන් කිසිසේත්ම දළදා වහන්සේගේ හෝ ඓතිහාසික කරඬුවල “අයිතිකරුවන්” නොවේ. උන්වහන්සේලා සහ නිලමේවරයා යනු “තාවකාලික භාරකරුවන්” පමණි. භාරකරුවෙකුට තමන්ට පැවරී ඇති භාරකාරී වස්තුවක මූලික ස්වරූපය අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට හෝ ඓතිහාසික කරඬුවක් තනි තීරණය මත ඉවත් කිරීමට කිසිදු නෛතික හෝ නීතිමය අයිතියක් නැත.

දියවඩන නිලමේ: හිමිකරු නොව, නීතියෙන් බැඳුණු භාරකරු

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 2 වගන්තියේ “ටෙම්ප්ලෙ” යන්නට දළදා මාලිගාවද ඇතුළත් කර ඇති අතර, “ට්‍රස්ටි” යන්නට දියවඩන නිලමේද ඇතුළත් කර ඇත. 7 වගන්තිය අනුව දළදා මාලිගාවේ භාරකරු වන්නේ දියවඩන නිලමේය. 4 වගන්තියෙන් විහාරයට අයත් දේපළ කළමනාකරණය භාරකරුට පවරන අතර, 5 වගන්තියෙන් එම කළමනාකරණය මහභාරකරුගේ සාමාන්‍ය අධීක්ෂණයට යටත් කරයි. මෙහි “කළමනාකරණය” යන්න “පෞද්ගලික අයිතිය” යන්නට සමාන නොවේ. භාරකරු තමාගේ දේපළක් මෙන් භාර දේපළ භාවිත නොකරයි. ඔහුගේ බලය නීතිය, සම්ප්‍රදාය, පූජනීය අරමුණ, පුරාවිද්‍යා ආරක්ෂාව සහ දායක ජනතාවගේ පොදු විශ්වාසය මගින් සීමා වේ. භාරකරුට දේපළ ආරක්ෂා කිරීමට, ලේඛනගත කිරීමට සහ චාරිත්‍රානුකූලව කළමනාකරණය කිරීමට බලය තිබිය හැකි නමුත්, ඓතිහාසික වස්තුවක ස්වභාවය වෙනස් කිරීමට හෝ එය ඉවත් කිරීමට වෙනත් නීති යටතේ අවශ්‍ය අනුමැතිය නොමැති නම් එම බලය ප්‍රමාණවත් නොවේ.

පොදු භාර මූලධර්මය උල්ලංඝනය කිරීමක්ද?

පොදු භාර මූලධර්මයේ හරය වන්නේ බලය භාවිත කළ යුත්තේ භාරයේ අරමුණ ඉටු කිරීමට පමණක් බවයි. එය දළදා වහන්සේගේ ආරක්ෂාව, පූජා සම්ප්‍රදාය, ඓතිහාසික අඛණ්ඩතාව සහ මහජන විශ්වාසය සමඟ ගැළපිය යුතුය. නව කරඬුව වටිනා වුවද, පැරණි කරඬුව ඉවත් කිරීමෙන් ඓතිහාසික අරමුණට හානි වේ නම්, ඒ තීරණය භාරකාර වගකීමේ සීමා ඉක්මවා යාමකි.

ජනාධිපතිවරයා දැනුවත්ද?

දළදා වහන්සේ රාජත්වයේ සංකේතයක් ලෙස ඉතිහාසයෙන් සැලකේ. ඒ අනුව දළදා වහන්සේ තනිකර බෞද්ධයන් සතු පූජනීය ඓතිහාසික වස්තුවක් පමණක් නොව මුළු රජයටම අයිති ජාතික වස්තුවකි. ජනාධිපතිවරයා පෞද්ගලිකව දළදා වහන්සේගේ හිමිකරු හෝ දෛනික භාරකරු නොවන නමුත්, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය සහ දේශපාලන වගකීම රාජ්‍ය ආරක්ෂාව, බුද්ධ ශාසන ආරක්ෂාව සහ රාජ්‍ය ආයතන නීතියට අනුකූලව කටයුතු කරන බව තහවුරු කිරීම දක්වා පවතී. ඒ නිසා මෙවැනි කරුණක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයට, බුද්ධ ශාසන අමාත්‍යාංශයට, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ මහභාරකරුට නිල වශයෙන් දැනුම් දීම අත්‍යවශ්‍ය වේ.

නීතියේ රැහැන: අදාළ වන පනත්, වගන්ති සහ ගත හැකි දැඩි නීතිමය ක්‍රියාමාර්ග

ශ්‍රී දළදා මාලිගාවේ ආසනයට සවිකර තිබූ වසර 100කට වඩා පැරණි පෞරාණික කරඬුව, නිසි නෛතික අනුමැතියකින් තොරව වෙනස් කිරීම හෝ මාරු කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු ඕනෑම පාර්ශ්වයකට එරෙහිව ලංකාවේ පවතින නීතිය යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් ඔස්සේ දැඩි නීතිමය පියවර ගත හැක.

1. 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත යටතේ අපරාධමය පියවර 22 වන වගන්තිය: පුරාවස්තු ආඥාපනතේ 22 වන වගන්තිය ප්‍රකාරව, යම් පුරාවස්තුවක් සඟවා තබා ගැනීම, වෙනස් කිරීම, හානි කිරීම හෝ නීතිවිරෝධී ලෙස ළඟ තබා ගැනීම බරපතළ වරදකි. එමෙන්ම, පනතේ 6 සහ 16 වන වගන්ති අනුව වසර සියයකට වඩා පැරණි ඕනෑම වස්තුවක් “පුරාවස්තුවක්” වන අතර, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව එවැනි වස්තුවක් වෙනස් කිරීම සපුරා තහනම් වේ.

ඇප දිය නොහැකි වරදක්: පුරාවස්තු (සංශෝධන) පනත මගින් ඇතුළත් කළ 15ඇ වගන්තිය ප්‍රකාරව, පුරාවස්තුවකට හානි කිරීම හෝ නීතිවිරෝධී ලෙස ඉවත් කිරීම ඇප දිය නොහැකි වරදකි. මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, අදාළ වගකිවයුත්තන් වහාම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට පොලිසියට හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාව ඇත.

ඒ සඳහා මහාධිකරණය හෝ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු කරනු ලැබුවහොත්, අවුරුදු 2කට නොඅඩු සහ අවුරුදු 5කට නොවැඩි කාලයක අනිවාර්ය සිරදඬුවමක් සහ රුපියල් 50,000 සිට ලක්ෂ 2 දක්වා දඩයකට යටත් කිරීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත.

2. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත යටතේ “ධුරයෙන් ඉවත් කිරීම” විහාර දේවාලගම් පනතේ 39 වන වගන්තිය ප්‍රකාරව, දියවඩන නිලමේවරයා ඇතුළු භාරකරුවන් යනු මහජන විශ්වාසය සුරැකිය යුතු නිලධාරීන්ය. එබැවින් ඕනෑම බෞද්ධයෙකුට හෝ මහා සංඝරත්නයට, භාරකාරීත්වයේ විශ්වාසය කඩ කරමින් මාලිගාවේ උරුමයට හානි කර ඇති බවට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව පැමිණිලි කළ හැක. එමෙන්ම 15 සහ 20 වන වගන්ති මගින් දේපළ ආරක්ෂා කිරීමේ වගකීම භාරකරු පිට පවරා ඇත.

පනතේ 39 වන වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව පැවැත්වෙන පරීක්ෂණයකින් පසු, භාරකාරීත්වය අවභාවිත කර ඇති බවට හෝ පූජනීය වස්තූන් නැසීමට/වෙනස් කිරීමට ලක්කර ඇති බවට සනාථ වුවහොත්, දියවඩන නිලමේවරයාගේ වැඩ තහනම් කිරීමට හෝ ඔහුව ධුරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට පූර්ණ නෛතික බලතල ඇත.

3. උසස් අධිකරණ හමුවේ සිවිල් හා ව්‍යවස්ථාපිත පියවර අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින්, දියවඩන නිලමේවරයා සිය නීතිමය සීමාවන් ඉක්මවා ක්‍රියා කර ඇති බැවින්, අලුතින් තැන්පත් කළ කරඬුව ඉවත් කර, වසර 250ක් පැරණි රාජකීය ඓතිහාසික කරඬුව වහාම තිබූ ස්ථානයේම නැවත තැන්පත් කරන ලෙසට නියෝග කරන රිට් ආඥාවක් ඉල්ලා සිටිය හැක. එසේම ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාවක්ද පවතී. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් තහවුරු කර ඇති “බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ” රාජ්‍යයේ වගකීම සහ 28(ෆ්) වගන්තියේ සඳහන් “ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ” පරම යුගයේ යුතුකම උල්ලංඝනය වී ඇති බව දක්වමින්, පුරවැසියන්ගේ සංස්කෘතික අයිතිය උදෙසා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමාජ සුභසාධක නඩුකරයක් ලෙස මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය හැක.

අපේ උරුමය නැවත ලබාගන්නේ කෙසේද?

දළදා වහන්සේගේ ඓතිහාසික කරඬුව යනු හුදෙක් අතීතයෙන් අපට ලැබුණු රිදී හෝ රත්තරන් කැබැල්ලක් නොවේ. එය අපගේ මුතුන්මිත්තන්ගේ, නරපතියන්ගේ සහ මුළු මහත් ශ්‍රී ලාංකේය ජාතියේම ශ්‍රද්ධාවේ හා සංස්කෘතික අනන්‍යතාවයේ ජීවමාන සලකුණයි.

එබැවින්, කිසිවෙකුටත් තමන්ගේ පෞද්ගලික හිතවත්කම් මතින් හෝ වෙනත් සබඳතා මගින් සිය මනදොළ සපුරා ගැනීමට හෝ ධනය ප්‍රදර්ශනය කිරීමට අපගේ රාජකීය උරුමය බිලිදීමට ඉඩ දිය නොහැක. වහාම ක්‍රියාත්මක වන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී, නීතිය ක්‍රියාත්මක කරමින්, ඉවත් කරන ලද දෙවන විමලධර්මසූරිය සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජවරුන්ගේ උතුම් වූ ඓතිහාසික දළදා කරඬුව නැවත තිබූ ආසනයේම ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කළ යුතුව ඇත. නොපමාවම ඒ සඳහා සිය හඬ අවදි කිරීම සමස්ත ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ පරම යුතුකමකි.

පැරණි රාජකීය කරඬුව නැවත ප්‍රතිස්ථාපනය කිරීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම පරම අයිතියයි!

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

උරුමයක අසිරිය