දිනෙන් දින උග්‍ර වන රිලවුන් ගෙන් ජන ජීවිත වලට එල්ල වන බලපෑම් වලට පිළියම් ලෙස රිලවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ කඩිනම් වැඩපිළවෙළක් සකස් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පැවසීය.අදාළ උවදුර පිළිබඳ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ පශු සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කර මේ වැඩපිළිවෙළ කඩිනම් කරන බව මාතලේ, ඕවිලිකන්ද මකුලේමඩ ගොවි නියෝජිතයන් හමු වූ අවස්ථාවේ දී රාජ්‍ය ඇමැතිවරයා කීය.මේ සඳහා වහා පිළියම් යෙදිය යුතු බැවින් මෙම යෝජනාව කඩිනමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද දිසානායක මහතා පැවසීය.මිනිස් ජනාවාස ආශ්රිත රිලා ගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම මුල් කොට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමේ රජයේ සැලසුම ඊට එරෙහි සත්ව ලෝලීන් ගේ සහ පරිසරවේදීන් ගේ ඉදිරිපත් වීම මත නිකුත් කෙරුණු අධිකරණ නියෝගයක් මඟින් නතර කරන ලදී.එහෙත් රිලා ගහණය මෙලෙස ශීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතුව උන් ගේ ස්වාභාවික වාසය පිණිස යොදා ගෙන තිබූ වන කලාප විවිධ මානව ක්‍රියා කාරකම් නිසා වැනසී යාමත් සමඟ රිලවුන් මිනිස් ජනාවාස වල කොටුවීම හා සීමිත ඉඩ කඩක් තුළ එසේ කොටු වීම මත ඔවුන් ගේ ප්‍රජනන සංසිද්ධීන් වේගවත් වීම බව අනාවරණය වී තිබේ.ඒ අනුව රිලවුන් වන්ධ්‍යාකරණයට ලක් කොට උන් නිසා අනේක විධ අපහසුතාවයනට මුහුණ පාන ජනතාවට ඉන් සහනයක් සැළසීම සාධනීය කටයුත්තක් බව ඒ සම්බන්ධ මැදහත් පාර්ශවයන් ගේ මතය වී තිබේ.